අධිකරණයට අපහාස කළ බවට ඇමති රංජන් රාමනායකට එරෙහි නඩුව ලබන 10 වැනිදාට කල්යයි

අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා එල්ලවී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි නඩුව අද(28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පැමිණිල්ල විභාගයට ගත් අතර එහිදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කළේය.

විත්තිකාර රංජන් රාමනායක අමාත්‍යවරයා සාක්ෂි ලබාදෙමින් පවසා ඇත්තේ තම ප්‍රකාශය මගින් මෙරට විනිසුරුවරුන් විවේචනය කිරීම අරමුණු නොකළ බවය.

රංජන් රාමනායක මහතාගේ සාක්ෂි ලබාදීමෙන් පසු ඔහු අධිකරණය හමුවේ සිදුකළ ඇතැම් කරුණු සම්බන්ධව රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා විරෝධය පළකර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ සාක්ෂිකරු විසින් ඇතැම් පුද්ගලයන්ට මඩ ගැසීම සඳහා සාක්ෂි කූඩුව වේදිකාවක් කරගත් බවය.

පසුව විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ අධිකරණය සම්බන්ධව කිසියම් සීමාවකට යටත්ව කරුණු දැක්වීම සුදුසු බවය.

නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා කල් තැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරමින් රංජන් රාමනායක මහතා 2017 අගෝස්තු 21 වැනි දින අග‍්‍රමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් මඟින්  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ , ගංගොඩවිල ,වලව්වත්ත පාර් ,අංක 43 /11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නැමැත්තා සහ මාගල්කන්දේ සුදන්ත හිමි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn