කාන්තාවක් දූෂණය කිරීම සහ රිය අනතුරක් සිදුකිරීමෙන් ඇයට තුවාල සිදුකිරීම සම්බන්ධව චෝදනා එල්ලවී සිටින, ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, පක්ෂයෙන් නෙරපා දැමීමට ප්‍රමාදවීම සම්බන්ධව එම පක්ෂයට මහජන අප්‍රසාදය එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2017 වසරේ ජුනි මාසයේ දිනක රැකියාවක් ලබා ගැනීමට උදව් පතා කුල්දීප් සෙන්ගර් මන්ත්‍රීවරයා හමුවීමට පැමිණි අවස්ථාවේ එම මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් තමා පැහැර ගෙන ගොස් සතියකට අධික කලයක් දූෂණය කළ බවට එම තරුණිය චෝදනා කරයි. මෙම සිදුවීමෙන් පසු දිගින් දිගටම චූදිත මන්ත්‍රීවරයාට සහ පක්ෂයට ජනතාවගේ විරෝධය එල්ල වූ අතර පසුගිය මාස කිහිපය තුළ එම විරෝධතා තවත් උත්සන්න විය. රිය අනතුර සිදු වන්නේ එම විරෝධතා උත්සන්න වීමෙන් අනතුරුවය.
එම මෝටර් රථ අනතුරින් දූෂණයට ලක්ව ඇති තරුණියගේ ඥාතීන්වන තවත් කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත්වූ අතර ඇයගේ නීතිවේදියා ද ඉන් තුවාල ලබා තිබේ. දූෂණයට ලක්වූ තරුණිය, ඇයගේ ඥාතිවන කාන්තාවන් දෙදෙනෙකු සහ නීතිවේදියා ගමන්ගත් මෝටර් රථය දෙසට එකවරම ගමන්ගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එය හදිසි අනතුරක් නොවන බව අදාල තරුණියගේ මව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් සැකකාර කුල්දිප් සෙන්ගර් මන්ත්‍රීවරයා මෙම අනතුරට සම්බන්ධව ඇත්දැයි සෙවීමට මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ වී ඇත.










