විධායකය අහෝසි කිරීමට මෛත්‍රී උත්සාහයක…

විධායකය අහෝසි කිරීමට මෛත්‍රී උත්සාහයක…

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සැලැස්ම අපේක්ෂා කළ පරිදි සාර්ථක කර ගත නොහැකි වීමත් සමග විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවධානය යොමු වි ඇති බව අභ්‍යන්තර තොරුතුරුවලින් අනාවරණය වේ.

ජනාධිපතිවරයාගේ මෙම නව අදහස් පිළිබඳව තුන්වැනි පාර්ශ්වයක් හරහා මහින්ද රාජපක්ෂ සමග මේ වනවිට රහසිගතව මූලික අදහස් හුවමාරු කර ගැනීමක නිරතව ඇති අතර මෙම සතියේදී දෙදෙනා මුහුණට මුහුණ හමු වී තීරණාත්මකව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව හෙළි වේ. දේශපාලන න්‍යාය පත්‍රයේ අනෙකුත් කරුණු පසුපසට දමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව නායක දෙපළ මූලික එකඟතාවයකට ඒමේ සූදානමක් පවතින බව අනාවරණය වේ.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ සිටින මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර ආදී මන්ත්‍රීවරු විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් තම පක්ෂයට අත්වන වාසි පිළිබඳ විවිධ අවස්ථාවලදී අවධානය යොමු කර තිබිණි.

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට ජනාධිපතිවරයා අසාර්ථක ක්‍රියාමාර්ග ගණනාවක් ගනු ලැබීය. ඊට අමතරව නීතිය පැත්තෙන් රිංගා යාමට පසුගිය 2018 වසරේ ජනවාරි මාසයේදී තම ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීය. අනතුරුව තවත් ක්‍රියාමාර්ග කීපයකට යොමුවීමට උත්සාහකර පසුව ඒවා අත්හර දැමීය. අවසන් වශයෙන් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ හැකියාව සොයාබැලීමටද සැලසුමක් තිබිණි.

සියල්ල බිඳවැටීමෙන් පසු ගෞරවාන්විතව විශ්‍රාම යාම කෙරෙහි අවධානය යොමු කර ඇති බව හෙලි වේ. මහින්ද රාජපක්ෂද මේ වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ අතිශය තීරණාත්මක ගැටලුවකට මැදිවී සිටී. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහද එසේමය. මේ සියල්ලන් මුහුණ දී සිටින තීරණාත්මක ගැටලුව මඟහැර ගැනීම සඳහා ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොදු එකඟතාව වඩාත් හොඳින් මතු වී ඇති බව එම පක්ෂවල අභ්‍යන්තරයෙන් හෙළි වේ.

ගයාන් රූපසිංහ – ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn