බලපත්‍ර රහිතව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධව චෝදනා එල්ලවී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකු ඇප මත මුදා හැරීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද(02) නියම කර තිබේ.
විත්තිකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධව නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව එක් විත්තිකරුවෙකුට රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එකඟතාව පළකර තිබේ.
මෙම නඩුවට අදාළව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ ලේඛන සියල්ල රජයේ නීතිඥවරයා විසින් විත්තියේ නීතිඥවරුන් වෙත විවෘත අධිකරණයේ දී බාර දී තිබේ.
2009 වසරේ නොවැම්බර් මස 24 වැනිදා සිට 2015 වසරේ අගෝස්තු මස 31 දක්වා කාලය තුළ අලි ඇතුන් 5 දෙනෙකු පමණ නීති විරෝධී ලෙස රඳවා තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සහ දණ්ඩ නීතී සංග්‍රහය යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 36ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.
පසුගිය නඩු වාරයේ දී විත්තියේ නීතීඥවරුන් අධිකරණය හමුවේ පවසා සිටියේ අදාල විත්තිකරුවන් මීට ඉහත ඇප මත මුදාහැර ඇති බැවින් සුදුසු ඇප කොන්දේසි මත නැවත මුදා හරින ලෙසය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප් පීරිස් මහතා පවසා සිටියේ විත්තිකරුවන්ට ඇප ප්‍රධානය කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බවය. ඒ අනුව නීතිපතිවරයා විසින් ඇප ප්‍රධානය කිරීමක් සිදුකර නොමැති බැවින් සැකකරුවන් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් අද(02) දිනයේ නඩුව නැවත කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් ඉදිරිපත් කර ඇති කරුණු අනුව ඔවුන්ට ඇප නියම කිරීමට නීතිපතිවරයාගේ විරෝධතාවයක් නැතැයි ප්‍රකාශ කර තිබේ.
විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවා තිබූ අතර අගෝස්තු මස 30 වැනිදා එය නැවත කැඳවීමට නියමිතය.










