හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ හේමසිරි පරණමාන්නට බරපතල වැඩ ඇතිව වසර පහක සිර දඬුවම් ලබාදීමට හම්බන්තොට මහාධිකරණය අද (02) මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබේ.
පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට සාපරාධී බලහත්කාරය කිරීමේ චෝදනා යටතේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එහි පළමුවැනි සැකකරු වන ප්‍රේමසිරි පරණමාන්න හා පස්වැනි සැකකරු වූ හමිබන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර යන අයට මෙසේ වසර පහක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබාදීමට හම්බන්තොට මහාධිකරණය නියම කර තිබේ.
එම නඩුවේ දෙවැනි, තෙවැනි හා සිවුවැනි විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ඇති අතර සැකකරුවන්ට චෝදනා 29ක් යටතේ නඩු පවරා ඇත.
බරපතල වැඩ සහිත සිර දඬුවමට අමතරව එක් එක් චෝදනා වෙනුවෙන් සමස්තයක් ලෙස එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ තිස්දහස (රු. 130,000) බැගින් දෙදෙනාටම රුපියල් දෙලක්ෂ හැටදහසක (රු. 260,000) දඩයක් නියම කර තිබෙන අතර එය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක් නියම කර තිබේ.
එසේම අගතියට පත් පාර්ශ්වයන්ට වන්දි ලෙස චූදිතයන් දෙදෙනාට රැපියල් හයලක්ෂ පනස් දහස (රු. 650,000) බැගින් රුපියල් ලක්ෂ 13ක දඩයක්ද නියම කර ඇත.
එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිර දඬුවමක්ද නියම කර තිබේ.
මෙම එරාජ් ප්‍රනාන්දු නගරාධිපතිවරයා පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේද එම නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වි, පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ පූර්ණ සහායත් එජපායේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ සහායත් ඇතිව යළි හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති බවට පත්විය.










