මුහුදු ප්‍රදේශ රළු විය හැකියි – කාලගුණයෙන් අනතුරු ඇඟවිමක්

මුහුදු ප්‍රදේශ රළු විය හැකියි – කාලගුණයෙන් අනතුරු ඇඟවිමක්

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 – 60 අතර අගයක් ගත හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගතහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 30 – 40 අතර අගයක් වනු ඇත.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වූ වෙරළ තීරය අවට ඇති මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැක.

වැසි ඇතිවන අවස්ථාවල සුළඟේ වේගය ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

මෙම තත්වයන් සම්බන්ධව ධීවර සහ නාවුක ප්‍රජාව හොඳින් දැනුවත්ව සිටින ලෙසත් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Facebook
Twitter
LinkedIn