පසුගිය වසර තුනක කාලය තුළ ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේදී පිළිගත් නිර්ණායක අනුගමනය කර නැති බවත් එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇතිබවත් සඳහන් කරමින් නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 31 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(26) තීන්දු කර තිබේ.
අදාල පෙත්සම අද, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී. බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවා තිබිණි. එහිදී පෙත්සම සම්බන්ධව උපදෙස් ලබාගැනීමට කල් ලබාදෙන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා සිදුකළ ඉල්ලීම පිළිගනිමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගය 31 දක්වා කල් තබා තිබේ.
පෙත්සම්කාර නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා සිය පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ ගතවූ වසර 3 තුළ ජනාධිපති නීතීඥවරුන් 75 දෙනෙකු පත්කර ඇති බවත් ඔවුන් පත්කිරීමේදී නියමිත නිර්ණායක අනුගමනය කර නොමැති බවත් ය.
ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේදී වසර 25ක වෘත්තීය සේවා කාලයක් පැවතීම, නීතීඥ ක්ෂේත්රයට කළ සේවය සැළකීම ආදිය සිදුකළ ද ඉහත පත්කිරීම් සඳහා එම නිර්ණායක නොසළකා ඇතිබව උපුල් කුමාරප්පෙරුම මහතා පෙන්වා දී ඇත.
එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය යටතේ ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි ද පෙත්සම්කරු පෙන්වා දී ඇත.
ඒ අනුව සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ නිර්නායකයන් හඳුන්වා දෙන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපති , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, එහි ලේකම්, ජනාධිපති ලේකම්වරයා නම් කර ඇත.









