අලි රොෂාන් ඇතුළු 8ක් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්

අලි රොෂාන් ඇතුළු 8ක් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්

නීති විරෝධීව අලි ඇතුන් පස් දෙනෙකු ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධව චෝදනා එල්ලවී සිටින අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

සිද්ධියට අදාල විත්තිකරුවන් ඇප මත මුදාහැර තිබෙන හෙයින් ඔවුන් නැවත සුදුසු ඇප කොන්දේසි මත මුදාහරින ලෙස විත්තියේ නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටිය ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප් පීරිස් මහතා පවසා සිටියේ විත්තිකරුවන්ට ඇප ප්‍රධානය කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බවය. ඒ අනුව නීතිපතිවරයා විසින් ඇප ප්‍රධානය කිරීමක් සිදුකර නොමැති බැවින් සැකකරුවන් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම පිළිගනිමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ප්‍රකාශ කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 වැනි වගන්තිය ප්‍රකාරව විත්තිකරුවන්ට ඇප ප්‍රධානය කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බවත් එවැනි අවසරයක් නොමැතිව ඇප ලබාදීමට බලයක් නොමැති බවත් ය.

ඒ අනුව සිද්ධියට අදාල නඩුව ලබන 2 වැනිදා කැඳවීමට නියම වූ අතර නඩු විභාගය අවසන් වන තුරු විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළේය.

2009 වසරේ නොවැම්බර් මස 24 වැනිදා සිට 2015 වසරේ අගෝස්තු මස 31 දක්වා කාලය තුළ අලි ඇතුන් 5 දෙනෙකු පමණ නීති විරෝධී ලෙස රඳවා තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  36ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ මෙම නඩුව කැඳවා තිබිණි.

Facebook
Twitter
LinkedIn