සිංහරාජයේ විනාශය ගැන ලෝක බැංකුවට කියපු ගමන් වන සංරක්ෂණේ ඇහැරෙයි !

සිංහරාජයේ විනාශය ගැන ලෝක බැංකුවට කියපු ගමන් වන සංරක්ෂණේ ඇහැරෙයි !

සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ කලවාන, කුඩාව පිවිසුම ආශ්‍රිත අධි සංවේදී කලාපයේ මාර්ගයක් ඉදිකිරීම නිසා සිදු වන විනාශය සම්බන්ධයෙන් ලෝක බැංකු ව්‍යාපෘති වලට එරෙහි පැමිණිලි භාරගන්නා විමර්ශන ආයතනය වෙත පැමිණිලි කිරීමෙන් පසු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හදිසියේ අවදි වී තිබේ.

I-penal ලෙස හැඳින්වෙන මේ ආයතනය මගින් ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට විමර්ශනයක් ආරම්භ කර ඇත. සිංහරාජය සුරැකීම සඳහා වන ජනතා පවුර වෙත එහි නියෝජිතයෙකු පවසා ඇත්තේ සියලු තොරතුරු සහිතව දුරකතන මාර්ගයෙන් සංවාදයක් සිදු කිරීමට ඔවුන් අපේක්ෂා කරන බවයි. ඉන්පසු ඔවුන්ගේ නියෝජිතයන් මේ පිළිබඳව වෙනම විමර්ශනයක් පවත්වන බවද සඳහන් කර තිබේ.

මේ විනාශය සම්බන්ධව සිංහරාජය සුරැකීම සඳහා වන ජනතා පවුර විසින් මාස අටක් තිස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළද, ඔවුන්ගේ පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එහෙත් අදාළ අංශයේ මැදිහත්වීමත් සමග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හදිසියේ විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා මේ විනාශය සම්බන්ධයෙන් සහ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට පරිසරවේදීන්ට ආරාධනා කරමින් සිටී. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ලෝක බැංකුවේ  ESCAMP ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ අනුර සතුරුසිංහ ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ මෙම මාර්ගය ඉදිකිරීමට අදාළව පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කළ බවයි. එය මැයි මාසයේදී භාරදුන් බවද අදාළ ලිපියේ සඳහන් ය. එහෙත් අදාළ ව්‍යාපෘතිය ඒ වනවිටත් පැවතියේ අවසාන අදියරේ ය. ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර ලබාගත යුතු බව නීතියෙන්ම සඳහන් කර ඇති පරිසර ඇගයීමේ වාර්තාවක්, ව්‍යාපෘතියේ අවසාන අදියරේදී ලබාගැනීම ගැටළුවකි. එය සකස් කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ විද්වතුන් පිරිසකි.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය මගින් අදාළ ජනතා පවුර වෙත දැනුම් දී ඇත්තේ මෙම ව්‍යාපෘතියට අදාළව පරිසර වාර්තාවක් ලබාගෙන නැති බවයි. එම නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අදාළ ලෝක බැංකු ව්‍යාපෘතියේ මෙරට ඒජන්තවරුන්ගේ කලබලයට හේතුව වී ඇත්තේ ලෝක බැංකු මූලස්ථානය මගින් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමයි. මෙම විමර්ශන ආයතනයට මීට පෙර ලංකාවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ එක් අවස්ථාවකදී පමණක් වන අතර, ඒ ජා-ඇල ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙනි. ඉන්දියාව මේ ආයතනයට වැඩියෙන්ම පැමිණිලි ඉදිරිපත් කර ඇති රටක් වන අතර, ඒ හරහා පරිසරය විනාශ කරන ලෝක බැංකු ව්‍යාපෘති කිහිපයක් නතර කර ගැනීමටද ඉන්දීය පරිසරවේදීන් සමත් වී තිබේ.

Facebook
Twitter
LinkedIn