කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ හා ගොඩනැගිලි විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන 20ක් ලබා ගැනීමේදී අත්අඩංගුවට පත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එස්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව පවතින නඩුව සැප්තැම්බර් මස 9 වැනිදා සිට විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේය.
සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ සිද්ධියට අදාල නඩුව අද(25) කැඳවා තිබූ අතර එහිදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මීට පෙර අධිකරණයෙන් ඉල්ලා ඇති, පැමිණිලිකාර ඉන්දීය ජාතික කේ. නාගරාජා මහතා විසින් අල්ලස් කොමිසමට සිදුකර ඇති පැමිණිල්ලේ මුල් පිටපතක් විවෘත අධිකරණය හමුවේ නීතීඥවරුන් වෙත භාර දුන්නේ ය.
එසේම මෙම නඩුවට පාදක වන පරිගණක සාක්ෂිවලට අදාල පරිගණක පද්ධති ආරක්ෂා කිරීම සඳහා විත්තියේ නීතීඥවරුන්ට අවසර දෙන ලෙස කර තිබූ ඉල්ලීම ද පිළිගත් අධිකරණය ඒ සඳහා අවසර ලබා දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.










