තරුණ තරුණියන්ට රැකියා දස ලක්ෂයක පොරොන්දු මත බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මේ වන තෙක් එම පොරොන්දුව සම්පූර්ණ කර නැතැයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු මහේෂ් විමුක්ති මහතා පවසයි.
උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදීමේ දී බාහිර උපාධිධාරීන්ගේ එම අවස්ථා කප්පාදු කිරීම සම්බන්ධව මතුව ඇති ගැටලුව පිළිබඳව අද(24) බත්තරමුල්ල අවකාශය සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
බාහිර උපාධිධාරීන්, වයස 35ට වැඩි රැකියා අපේක්ෂකයන්, ඌන සේවා නියුක්තිකයන් ඇතුළු පිරිස් රජය විසින් රැකියා අවස්ථා සඳහා කැඳවීමේදී කපා හැර ඇති බවත් පසුගිය වසරේ නොවැම්බර් දෙසැම්බර් මාසවල ලබාදෙන බවට පොරොන්දු වූ රැකියා අවස්ථා 16000ක් එළඹෙන අගෝස්තු මස ලබාදීමට නැවත පොරොන්දුවී ඇති බවත් එහිදී ද ඉහත රැකියා අපේක්ෂකයන් කප්පාදු කර ඇති බවත් මහේෂ් විමුක්ති මහතා පවසයි.
බාහිර අභ්‍යන්තර, ජාතිකත්ව ආදී බෙදීම්වලින් තොරව සියළු උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී සමානව සළකන ලෙසත් පොරොන්දු ඉටුකරමින් රැකියා අපේක්ෂකයන් රැකියා සඳහා බඳවාගන්නා ලෙසත් ආණ්ඩුවට බලකර සිටින බව රැකියා විරහිත උපාධිධාරී සංගමය මාධ්‍ය හමුව අමතමින් පැවසීය.
මාධ්‍ය හමුව සඳහා බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුවේ මහේෂ් අබේපිටිය, රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු මහේෂ් විමුක්ති, බාහිර උපාධි ශිෂ්‍ය බලමණ්ඩලයේ ජනිත් චතුරංග යන මහත්වරුන් සහභාගි වූහ.












