වනාතවිල්ලුවේ සුප්‍රසිද්ධ ලැක්ටෝ වත්තේ රැඳී සිටි තවත් 06ක් අත්අඩංගුවට

පසුගිය කාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ඩෙටනේටර් හමුවීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති වූ වනාතවිල්ලුව – ලැක්ටෝ වත්තේ රැඳී සිටි තවත් පුද්ගලයන් 06 දෙනෙකු අද (24) අළුයම 2.00 ට පමණ වනාතවිල්ලුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජනවාරි මස 16 වැනිදා එම වත්තේ තිබී ආදළ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ඩෙටනේටර් හමුවූ අවස්ථාවේ එහි රැදී සිටි සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර අද අළුයම අත්අඩංගුවට ගත් 06 දෙනාගෙන් දෙදෙනෙකු එසේ මීට පෙර ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු බවද වාර්තා වේ.

ජනවාරි මාසයේ සිදුවීමෙන් පසු එම වත්තට එහි හිමිකරුට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීම අධිකරණය විසින් තහනම් කර ඇති අතර එම තහනම් නියෝගය නොතකා සැකකරුවන් එකී වත්තේ රැදී සිට තිබේ.

තමන් වත්තේ පොල් ගස් වලට වතුර දැමීම සඳහා පැමිණ සිටි බව සැකකරුවන් පවසා ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Facebook
Twitter
LinkedIn