තංගල්ල නගර සභාවේ මහින්දගේ හිටපු සභාපති ලක්ෂ 06කට අධික වංචාවක

තංගල්ල නගර සභාවේ මහින්දගේ හිටපු සභාපති ලක්ෂ 06කට අධික වංචාවක

තංගල්ල නගර සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට පැවති පසුගිය පාලන සමයේ එහි සභාපති ලෙස කටයුතු කළ අනිල් සෙල්වාහැන්නදි මහතා විසින් නගරසභාවට අයත් ගිනි නිවීම් ඒකකයේ රුපියල් හයලක්ෂ හැටනවදහසක් (රු. 669,000) වටිනා ආයුධ කට්ටලයක් නීතිවිරෝධී ලෙස තමන් සන්තකයේ තබා ගනිමින් වංචාවක් සිදු කර ඇති බව වාර්තා වේ.

ඔහු මෙලෙස වංචා කර ඇත්තේ සුනාමි ව්‍යවසයෙන් පසුව තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් ඒකකයට ජර්මනියෙන් ආධාර ලෙස හිමි වූ ආයුධ කට්ටලයක් බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තංගල්ල නගරසභාවේ හිටපු ලේකම්වරයා විසින් 2015 වර්ෂයේදී තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එහි විමර්ශන කටයුතු කෙරෙමින් තිබියදී චෝදනාවට ලක්වූ හිටපු සභාපතිවරයා යළි එම ආයුධ කට්ටලය ලබා දෙන බවට පොරොන්දු වී ආයුධ කට්ටලයක් තංගල්ල නගරසභාවට ලබා දී ඇත.

එහෙත් එම ආයුධ කට්ටලය පරීක්ෂා කිරීමේදී උක්ත වටිනා ආයුධ කට්ටලය වෙනුවට වටිනාකම අඩු බාල ආයුධ කට්ටලයක් බාර දීමට කටයුතු කර තිබේ. එම ආයුධ කට්ටලයේ ආයුධ තිබිය යුතු ප්‍රමාණයද තිබී නැත.

ඒ අනුව පරීක්ෂණ සිදු කළ විමර්ශන නිලධාරීන් සහ ගිනිනිවීම් ඒකකයේ නිලධාරීන් එම ආයුධ කට්ටලය ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන් පසු මුල් ආයුධ කට්ටලය යැයි පවසා අද (18) තංගල්ල නගරසභාවට ගෙනැවිත් බාර දීමට පොරොන්දු වී ඇත. ඒ අනුව යළිත් ආයුධ කට්ටලයක් ත්‍රිරෝද රථයක පටවා තංගල්ල නගරසභාවට එවා තිබේ. හිටපු සභාපතිවරයා හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතවරයෙකු මාර්ගයෙන් එම ආයුධ කට්ටලය නොඑවීම හේතුවෙන් වර්තමාන සභාපතිවරයා සහ විමර්ශන නිලධාරීහු යළිත් එය ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ නමුත් පැවති පාලන සමයේ තංගල්ල නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළ අනිල් සෙල්වාහැන්නදි මහතා විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ගිය රුපියල් හයලක්ෂ හැටනවදහසක් (රු. 669,000) වටිනා ආයුධ කට්ටලය මෙතෙක් ලබාදීමට කටයුතු කර නැත.

Facebook
Twitter
LinkedIn