අන්තවාදය පරදවා ජාතික සමගිය ඇතිකිරිමේ ප්‍රධාන වගකීමක් කාන්තාව සතුයි

අන්තවාදය පරදවා ජාතික සමගිය ඇතිකිරිමේ ප්‍රධාන වගකීමක් කාන්තාව සතුයි

අන්තවාදය පරදවා ජාතික සමගිය ඇතිකළ හැක්කේ කාන්තාවන්ට බවත් ඒ සඳහා වූ විශ්වීය වගකීමක් ස්වභාව ධර්මයෙන් කාන්තාවන්ට පැනවී තිබෙන බවත් ඒ මාතෘත්වය තුළින් බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා පෝල්රාජ් මහත්මිය අවධාරණය කරයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ අන්තවාදය පරදවමු ජාතික සමගිය ගොඩනගමු මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් පසුගියදා මොරටුවේදී පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමිණි.

ජාතිවාදී වීමට කිසිඳු “අම්මා” කෙනෙකුට අයිතියක් නැති බවත් මවක් දරුවකු බිහිකරන්නේ ප්‍රේමයේ ඵලයක් ලෙස බවත් ප්‍රේමය ජීවය දෙනවා මිස අන්තවාදීන්ට ජවය නොදෙන බවත් සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි.

පසුගිය අප්‍රලේ 21 ප්‍රහාරය වැදුනේ අපේ සමාජයේ හදවතට යැයිද ඒ බෝම්බ පුපුරා ගියේ අවුරුදු 30ක යුද්දයෙන් ඔද්දල් වූ හදවත් නැවත තුවාල කරගෙන යැයිද ඇය අවධාරණය කරයි.

තව දුරටත් ආගම් ආධයාත්මික සාධක නෙවන බවත් ඒවා ධනේශ්වර මෙවලම් බවත් අවධාරණය කළ ඇයි ඒවා තම තමන්ගේ සංකේත ලෝකයේ ඉහළට ඔසවා ගන්න ජනතාව අතර ආගම මාකට් කරන බවත් භාණ්ඩ අලෙවියේ පවතින තරඟයම අද ආගම් අතරත් තිබෙන බවත් ඇය පෙන්වා දෙයි.

එමෙන්ම ආගමික නායකයො තම තමන්ගේ සන්නාමයන් මාර්කට් කරගැනීමට සන්නාම තානාපතිවරුන්ගේ කාර්යය අඩු නැතිව ඉටුකරන්නේ යැයිද ඇය සඳහන් කයි.

නව ලිබරල් ආර්ථිකය මවන අර්බුද ඇතුළේ මතුවන ප්‍රතිගාමීත්වය නිවැරදිව තේරුම් ගත  යුතු බවත් ඒ  සදහා හුදකලා විසදුම් නැති බවත් සම්පුර්ණ ලෙසම මේ පවතින ක්‍රමය පරාජය කළ යුතුයි බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.

අදරටේ පවතින්නේ නළු නිළියන් ගේ හෝ ගායක ගායිකාවන් ගේ හිඟකමක් නොඑසේනම් අහේනියක් නෙවෙන බවත් රටට අවශ්‍යව ඇත්තේ දැනුම, ඉහළ රසඥතාවය, යහපත් ආකල්ප අරමුණුවල හිඟයක් යැයි ලේඛිකා, සාහිත්‍යවේදී සම්මානී විජේසිංහ මෙනවිය සඳහන් කරයි.

කෙටියෙනම් කිවහොත් රට තුළ සමාජය තුළ මනුෂ්‍යත්වය සහ ආදරය හිඟකමක් පවතින්නේ යැයි ඇය අවධාරණය කරයි.

මුළු මිනිස් සමාජයම කටයුතු කළ යුත්තේ මෙය සම්පූර්ණ කිරීමට බවත් එය මාධ්‍යවල පමණක් නොව සමස්ත සමාජයේම වගකීමක් බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.

එහිදී මුස්ලිම් කාන්තා පර්යේශන ආයතනයේ රෂ්මිතා ෆාතිමා මහත්මිය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ විධායක සභික විශාකා අබේරත්න මහත්මියද මෙහිදී දේශන පැවැත්වූහ.

Facebook
Twitter
LinkedIn