රංගජීවට, එමිල් රංජන්ට අධි චෝදනා – තවත් විත්තිකරුවෙක් රටෙනුත් පලාගිහින්

රංගජීවට, එමිල් රංජන්ට අධි චෝදනා – තවත් විත්තිකරුවෙක් රටෙනුත් පලාගිහින්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා මහතාට 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ චෝදනාවලට අදාළව ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (18) අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

මෙහි තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින ඉමදූවගේ ඉන්දික සම්පත් නමැත්තා මේ වනවිට අධිකරණය මගහැර විදේශයකට පලා ගොස් ඇති අතර ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීම සඳහා ඉදිරියේ දී ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත.

මෙම අවස්ථාවේදී සැකකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති වුවත් නඩු විභාගය ආරම්භ වීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්න ලෙස විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දන්වා තිබේ.

ඒ අනුව එක් විත්තිකරුවෙකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් විත්තිකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවටත් විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වන ඇපකරුවන් මෙම අධිකරණ බල සීමාව තුළ පදිංචිකරුවන් විය යුතු බවටත් නියෝග කර ඇත.

2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුවේ විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව නඩු පවරා තිබිණි.

මෙලෙස ඝාතනයට ලක්වූවන් අතර පසුගිය රාජපක්ෂ පාලන සමයේ විවිධ අපරාධමය සිද්ධිවට සම්බන්ධ වූවන් සිටින අතර මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම්වලට සම්බන්ධ අයද සිටියේය.

මෙම නඩුව නැවත අගෝස්තු මස 01 වනදා කැඳවීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn