වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් වැරැදිකරු වූ කෑගල්ල ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථානයක වැඩසිටි 36 හැවිරිදි උප ගුරු හිමිනමකට සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා වසර 11ක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක් නියම කර වින්දිත දැරියට රුපියල් ලක්ෂයයක මුදලක් ගෙවන ලෙසට පසුගිය 17වනදා නියෝග කර තිබේ.
විත්තිකාර හිමිනම විහාරස්ථානයේ වැඩසිටියදි විහාරස්ථානයේ දහම් පාසලට පැමිණෙමින් සිටි එම විහාරස්ථානයේම දායක පවුලක 9වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක ගැහැනු දරුවකු සමඟ සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබේ. ඇය දිනක් පාසල නිමවී නිවෙසට පැමිණෙන අවස්ථාවේදී මේ හිමිනම ඇයට ජංගම දුරකථනයක් තැගී කර ඇත. පසුව එම ජංගම දුරකථනයට අවස්ථා කීපයකදී හිමිනම ඇමැතුම් ලබාගෙන තිබේ.
දැරිය පවුලේ එකම ගැහැනු දරුවා වන අතර 2010 අගෝස්තු මස 23 වැනි දින මධ්‍යම රාත්‍රියේ හිමිනම හොර රහසේ දැරියගේ නිවෙසට ගොස් දැරිය ජනේලයෙන් එළියට ගෙන විහාරස්ථානයේ ධර්ම ශාලාවට රැගෙන ගොස් දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ඇත. එම නිවසේ දැරිය නිදාගන්නා කාමරයේ ඇති ජනේලයට පියනක් නොමැති අතර ඒ වෙනුවට රෙදිකැබැල්ලක් පමණක් එල්ලා තිබෙන බව පැවසේ.
පසුව එදින රාත්‍රියේ දියණිය නිවෙසේ නොමැති බවට මව විසින් සැමියාට දැන්වීමෙන් පසු පියා වැඩිමහල් පිරිමි දරුවා සමඟ වසට සිදු කළ සෝදිසි කිරිමේදී විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දැරිය හා හිමිනම සිටින අයුරු දැක ඇත.
එම අවස්ථාවේදී හිමිනම පලාගොස් ඇති අතර පසුව දැරිය පියා විසින් නිවෙසට රැගෙන ගොස් තිබේ. පසුදා එනම් 24 වැනිදා කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් සිදුකිරීමට මව විසින් කටයුතු කර තිබේ. පසුව එවකට කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස සේවය කළ කාන්තා උප පොලිස් පරීක්ෂක ස්වර්ණා මහත්මිය විසින් අතවරයට ලක්ව සිටි බාල වයස්කාර දැරිය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බී.එම්.බී.සී. බණ්ඩාරනායක මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දැරිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවට වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබිණි.
ඒ අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලඝුනොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමුකොට අධි චෝදනා ගොනු කර 2017 වර්ෂයේ අක 3804/17 යටතේ චෝදනා දෙකක් සමඟ සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණය වෙත නඩුව යොමුකොට තිබිණි. පසුගිය 18 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදි නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනා දෙකටම විත්තිකාර හිමිනම වැරැදිකරු කළ මහාධිකරණ විනිසුරුවරයා පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩ මුදලක්ද නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක්ද නියම කර තිබේ.
ඊට අමතරව වසර හතරක ලිහිල් සිරදඬුවමක් නියම කර එය වසර පහළොව දක්වා අත්හිටුවන ලෙසට නියෝග කර ඇත. දෙවැනි චෝදනාවට වසර 11ක ලිහිල් වැඩසහිත සිරදඬුවමක්ද රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කර තිබේ. දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත. රුපියල් ලක්ෂයක මුදලක් වින්දිත දැරියට ගෙවන ලෙසට නියෝග කර ඇති මහාධිකරණ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් මාස නවයක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ. තවද වින්දිත දැරියට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසත් එයින් 10%ක මුදලක් විදිතයන් ආරක්ෂා කිරිමේ අරමුදලටද බැර කරන ලෙසත් නියෝග කර ඇත.










