පසුගිය 25 වනදා අළුයම තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩිතබා ඝාතණය කර ඔහුගේ පෙම්වතියට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තංගල්ල ප්රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිස ඊයේ (05) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුනි.
තමාට හිරිහැර කළ සැකකරුවන් කිසිවකුත් හඳුනා ගැනීමට රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් තරුණියට නොහැකිවූ අතර සෙසු සාක්කිකරුවෝ ඔවුන් හඳුනා ගැනීමට සමත්වූහ.
ඒ අනුව තංගල්ල ප්රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොට්ටිගේ සරත් හෙවත් සහන්, විතාරන්දෙණියේ ඕබඩ ආරච්චිගේ ළහිරු කැලූම්, නලගම වීරප්පුලිගේ ප‍්‍රවීන් චතුරංග හා හෝමාගම සමන් දේශපි‍්‍රය යන අය මෙලෙස අපරාධ කරුවන් ලෙස හදුනා ගන්නා ලදී.
ඊයේ රාතී‍්‍ර දහය වනවිටත් තංගල්ල අධිකරණයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව පැවති අතර පෙරෙට්ටුව ඇරැඹී පැය නවයක් ගතවුවද සාක්කිකරුවන් පස්දෙනෙක් පමණක් පෙරෙට්ටුව පැවැති ශාලාවට රැගෙන එන ලදී. පෙරෙට්ටුවේ අතිරේක පිරිස් වශයෙන් වෙනත් නඩුවලට පැමිණි අය යොදාගැනීම නිසා ඔවුන් සමග ආ කාන්තාවෝ සහ දරුවෝ අධිකරණ ශාලාවේ තැන තැන නිදාසිටි බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය විසින් අදාල සැකකරුවන් ලබන සිකුරාදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළාය.









