අක්මීමන විදුහලක ආරක්ෂක සේවයේ යොදවා සිටි නිලධාරියෙකුගේ වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

අක්මීමන විදුහලක ආරක්ෂක සේවයේ යොදවා සිටි නිලධාරියෙකුගේ වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

අද (04) දහවල් සිය පුත්‍රයා රැගෙන යාමට බව පවසා අක්මීමන – මානවිල උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකුට ආරක්ෂක සේවයේ යොදවා සිටි හමුදා නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියේ අදාල පුද්ගලයා සිය පුත්‍රයා රැගෙන යාමට බව පවසා අනවසරයෙන් විද්‍යාල භූමියට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවත් එහිදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග ගොස් හමුදා නිලධාරියා අත තිබූ ගිණි අවිය උදුරා ගැනීමට අදාල පුද්ගලයා උත්සාහ දරා ඇති බවත් එහිදී අදාල වෙඩි තැබීම සිදුකර ඇති බවත්ය.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ 39 හැවිරිදි දෙදරු පියෙකුවන පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් බලධාරීන් පවසා සිටියේ රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිට ඇති බවය.

මේ වනවිට අනාවරණය වන්නේ එසේ මිය ගොස් ඇත්තේ එම විද්‍යාලයේම ඉගෙනුම ලබන දරුවෙකුගේ පියෙකු බවත් තම දරුවාට අසනීප තත්වයක් උද්ගතව ඇති බවට පාසලෙන් ලැබුණු දුරකථන ඇමතුමක් මත එම පියා එම පාසලට ගොස් ඇති බවයි.

ඔහු හමුදා භටයාගේ අණ නොතකා පාසලට ඇතුළු වීමට යන අවස්ථාවේදී සෙබළා විසින් වෙඩි තබා ඇති බව මූලික පරික්ෂණයේදී  අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හමුදා සෙබළා අත් අඩංගුවට ගෙන ඇති අතර අක්මීමණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Facebook
Twitter
LinkedIn