සමෘද්ධිලාභීන්ට සිදුව ඇති අසාධාරණය ගැන ජවිපෙ නායක අනුර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයට වහාම පිළිතුරු සපයන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා විසින් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා වෙත ලිඛිතව දන්වා ඇත.
සමෘද්ධිය ලබාදීමේදී පොරොත්තු ලේඛන නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගිය ජුනි 06 වනදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රශ්න කිරීමට සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පිළිතුරු ලබාදීමට නියමිතව තිබුණද එම ප්‍රශ්න කිරීම සිදු කර මේ වනවිට මාසයකට ආසන්න වෙමින් ඇතත් එම අමාත්‍යවරයා මෙතෙක් ඊට පිළිතුරු ලබා දීමට කටයුතු නැත.
ඒ සම්බන්ධයෙන් ලබන 09 වනදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී එදිනම එනම් ලබන 09 වෙනිදාම වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන ලෙසද කතානායකවරයා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා වෙත යොමු කර ඇති ලිපියේ සඳහන් වේ.
එසේ පොරොත්තු ලේඛන නොසලකා කටයුතු කර ඇත්තේ අදාළ සමෘද්ධි සහනාධාර ලබාදීමේදී දේශපාලන හිතවතුන් වෙත ප්‍රමුඛතාවය ලබාදීමේ අරමුණෙන් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මෙම ප්‍රශ්නයට ලබන සතියේ පිළිතුරු ලබා දෙන බව දයා ගමගේ ඇමතිවරයා සඳහන් කර ඇතැයි ජුනි 06 වනදා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ නමුත් ඊලඟ සතියේද ඊට පිළිතුරු නොදීම ගැන අනුර දිසානායක මහතා ජුනි 27වනදාද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටින ලදී.
කෙසේ නමුත් මේ වනවිට කතානායකවරයා එම අමාත්‍යවරයා අමතා සමෘද්ධිලාභීන්ට සිදුව ඇති අසාධාරණය ගැන ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ 27/2 ප්‍රශ්නයට වහාම පිළිතුරු සපයන්නැයි දන්වා ඇත.










