මහින්දානන්දට එරෙහි කැරම්බෝඩ් නඩුව අගෝස්තු දක්වා යලි කල් යයි

මහින්දානන්දට එරෙහි කැරම්බෝඩ් නඩුව අගෝස්තු දක්වා යලි කල් යයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාට සහය පිණිස රුපියල් කෝටි 5කට අධික කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා උපකරණ ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට පාඩු සිදුකර ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ල යලි කැඳවීම අගෝස්තු මස 27 වනදා දක්වා කල් තැබිණි.

සිද්ධියට අදාල නඩුව අද(30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවා තිබිණි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළව විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා අගවිනිසුරුවරයාගේ විධානය ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය නඩු දිනයේ ද මෙම කරුණම ප්‍රකාශ කර සිටි බවත් නඩුවේ කටයුතු මෙතරම් ප්‍රමාදවීම අනුමත කළ නොහැකි බවත් විනිසුරුවරිය පැවසුවාය.

ඒ අනුව කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කරන ලෙසත් නඩුව නැවත අගෝස්තු මස 27 වැනිදා කැඳවන බවත් විනිසුරුවරිය අල්ලස් කොමිසමට දැනුම් දුන්නාය.

Facebook
Twitter
LinkedIn