NTJ ත්‍රස්ථයන්ට මුස්ලිම්වරුන් විරුද්ධ වී ඇත්තේ වසර දෙකකටත් ඉහත සිටයි

NTJ ත්‍රස්ථයන්ට මුස්ලිම්වරුන් විරුද්ධ වී ඇත්තේ වසර දෙකකටත් ඉහත සිටයි

ජාතික තවුහිද් ජමාත් සංවිධානය (NTJ) ත්‍රස්ථ සංවිධානයක් බවත් එහි නායකයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළයුතු බවත් පවසමින් මීට වසර දෙකකට පමණ පෙර කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරතව තිබේ.

එම සංවිධානයේ ක්‍රියාකලාපය සම්බන්ධව මුස්ලිම් සමාජය තුළ ද විරෝධතාවයක් පැවත ඇති අතර ඔවුන් වසර දෙකකට පෙර මෙරට ආරක්ෂක අංශවලින් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇත්තේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය තහනම් කරන ලෙසත්, එහි නායකයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ත්‍රස්ථ ක්‍රියාවලට තිත තබා ඇවිලීමට යන ජාතිවාදය වහා නවතන ලෙසත් ය.

කෙසේ වෙතත් බලධාරීන් එම හඬට කන් නොදීම හේතුවෙන් 359 දෙනෙකුට අද වනවිට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවී ඇත.

එසේම එම අනතුරු ඇඟවීම නොපිලි ගැනීමෙන් රටේ ආර්ථිකයට මරු පහරක් එල්ලවී ඇත. මෙරට සංචාරක ක්ෂේත්‍රය බිහිසුණු ලෙස බිඳවැටී ඇත. මෙරට ජනතාව කෙරෙහි ලෝක ප්‍රජාව තුළ වූ විශ්වාසය බිඳවැටී ඇත. එසේම බරපතල ලෙස ජාතීන් අතර සංහිදියාව බිඳවැටෙමින් ඇත.

අද පැවති හදිසි නීති රෙගුලාසි සම්මත කර ගැනීමේ පාර්ලිමේන්තු විවාදයේදී අතුරලියේ රතන හිමි පවසා සිටියේ මේ මොහොතේ මුස්ලිම් ජාතිකයන් මෙම ත්‍රස්ත සංවිධානයට සහ එම ප්‍රහාරයට විරෝධතාවය දැක්විය යුතු බවය. කෙසේ වෙතත් පෙනී යන්නේ මුස්ලිම් සමාජය තුළම NTJ සංවිධානයට විරෝධතාවක් පැවත ඇති නමුත් මෙරට බලධාරීන් එම හඬට ඇහුම්කන් නොදී ඇති බවය.

පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරය අලලා සමස්ත මුස්ලිම් ජනතාවම ත්‍රස්ථවාදීන් ලෙස හංවඩු ගැසීම නැවත ත්‍රස්ථවාදය සඳහා උඩගෙඩි දීමකි. එබැවින් බලධාරීන් ත්‍රස්ථවාදීන්ට නීතිය ක්‍රියාත්මක කළයුතු සේම ජාතික සංහිදියාව ගොඩ නැගීමට ද දායක විය යුතුය.

Facebook
Twitter
LinkedIn