අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසකට සිදුකළ පහරදීම සම්බන්ධව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කරන වාර්තාව ප්රසිද්ධ මහජන ලේඛනයක් කිරීමට කටයුතු කරන බව එම කොමිසම පවසයි.
සිද්ධියට අදාල වාර්තාව මේ වනවිට සැකසෙමින් පවතින අතර පාර්ශ්ව ගණනාවකින් ප්රකාශ ද සටහන් කරගෙන ඇතැයි එම කොමිසම වැඩිදුරටත් පවසයි. අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ දී පහරකෑමට ලක් වු රැදවියන්, එම බන්ධනාගාරයේ අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු පාර්ශව කිහිපයකින් මෙම ප්රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇත.
අගුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරින් විසි දෙනෙකුට අධික පිරිසක් බන්ධනාගාර පරිශ්රයෙහිදී පොලු මුගුරු මගින් කරනු ලබන පහරදීමකට අදාළව පැය භාගයක පමණ කාලයක් පුරා ධාවනය වන සී.සී.ටී.වී දර්ශන, අනාවරණයවීමත් සමඟ මේ සම්බන්ධව පරීක්ෂණ ඇරඹිනි.
සිද්ධියට අදාලව තව දුරටත් විමර්ශනය කර ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව සකස් කරන බවත් අනතුරුව එය ප්රසිද්ධ ලේඛනයක් ලෙස ප්රකාශයට පත්කරන බවත් එම කොමිසම පවසයි.










