වී සඳහා වෙන්කළ මිලියන 9000ක්‌ සුන් වී

වී මිලදී ගැනීම සඳහා පසුගිය වසරට (2012) මහා භාණ්ඩාගාරය වෙන්කළ රුපියල් මිලියන නවදහසකට වැඩි මුදලක් වියදම් කළ ආකාරය හා වී මිලදී ගත් පසු සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ මෙතෙක් පසු විපරමක් කර නොමැති බව වාර්තා වේ.

මේ නිසා මෙම මුදල් පිළිබඳ විගණන කටයුතු කිරීමට පවා නොහැකි වී ඇතැයි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පවසා තිබේ.

මහා භාණ්‌ඩාගාරය වී අලෙවි මණ්‌ඩලයට 2012 වසරේදී ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා ලබාදුන් රුපියල් මිලියන 9000 පිළිබඳ බරපතළ වංචා, දූෂණ සිදුවී ඇතිමුත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ද ඒවාට උල්පන්දම් දීමට පටන්ගෙන ඇත්තේ දේශපාලන බලපෑම් මත යෑයි ද එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් පවසා ඇත.

වී අලෙවි මණ්‌ඩලයේ වසර හතරක පමණ කාලයක්‌ ගණකාධිකාරී තනතුර හිස්‌ව තිබූ බවත් මූල්‍ය අංශය භාර නිලධාරීන් ද සිතූ ලෙස කටයුතු කර ඇති බවත් ඒ පිළිබඳ විගණන දෙපාර්තමේන්තුව කළ මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.

Facebook
Twitter
LinkedIn