හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඊයේ (01) දෙවැනි වරටත් අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිටි අතර ලිඛිතව විරෝධතා ඉදිරිපත් කිරීමට පෙර තමන්ට එල්ලවී ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙසත් ඒ දෙකටම එකවර ලිඛිතව පිළිතුරු සැපැයීමට ලබන මැයි 17දා දක්වා කල් දෙන ලෙසත් ඇය අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කොට ඇත.
එහෙත් බැංකු ගිණුම් පිළිබඳ අල්ලස් කොමිසමට ලැබී ඇති තොරතුරු හෙළි නොකිරීමට නීතියෙන් බැඳී ඇති බව මෙහිදී ඇයට පැවැසූ බව අල්ලස් කොමිසම පැවැසීය. ඊයේ ඇය ලිඛිත විරෝධතාවක් ඉදිරිපත් නොකර ප්රකාශයක් නොදී පිටව ගිය බවද කොමිසම සඳහන් කෙළේය.
ඊයේ පැවැති වාචික කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මැයි මස 17දා අදාළ කරුණු දෙක පිළිබඳ ලිඛිතව විරෝධතා ඉදිරිපත් කිරීමට ඇය අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිටිනු ඇත.
මේ අතර වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහිව දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් පසුගිය ජනවාරී මස 15 වෙනිදා අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මොහාන් පීරිස් මහතා නීතිපතිවරයාව සිටි සමයේ රුපියල් ලක්ෂ 750කට ආසන්න මුදලක් වංචා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවත් දූෂණ විරෝධී හඬ පෙන්වා දෙනු ලැබුවා. එහෙත් මේ වනතෙක් ඔහුට කැඳවීමක් කර නොමැත.
මොහාන් පීරිස් මහතාට එරෙහිව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවට හෝ තමන්ට කිසිදු දැනුම්දීමක් කර නැති බවත් එමෙන්ම වංචා දූෂණ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට පවා පැමණිලි දහස් ගණනක් ඉදිරිපත් වී ඇතත් එම පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදුනොවීම පුදුමයට කරුණක් බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ ප්රකාශකයෙක් අප කළ විමසීමකදී පැවසීය.









