ලක්සිරිට පහරදුන් රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසයට

ලක්සිරිට පහරදුන් රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසයට

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහි නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරු වන ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි මහතාට තර්ජනය කිරීමේ සිද්ධියේ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය භාර ගත් බව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා අද (19) කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දී තිබේ.

කොටුව පොලිසිය හමුවේ පැවැති එම සිද්ධියට අදාළ විමර්ශන තම කොට්ඨාසය භාර ගත්තේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව බවද ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත.

විමර්ශනයේ ඉදිරි ප‍්‍රගතිය සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා ඉදිරි දිනයක් බී වාර්තාවක් මගින් ඉල්ලීමක් කරමින් එහි කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඒ බව සහන් කර තිබේ.

ඒ අනුව එම සිද්ධියට අදාළව ලබන ජනවාරි මස 19 වැනිදා කොටුව පොලිසිය සමඟ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත‍්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කර තිබිණි.

පාසල් සිසුන් ඇතුළු තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ වරෙන්තුකරුවකුට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව අධිකරණය හමුවේ පැමිණිල්ලක් පවතී. එහි ප‍්‍රධාන සාක්ෂිකරු වූ ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි යන නිලධාරියාට නාවික හමුදා නිවස්නයේ දී ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් එම නිලධාරියා කොටුව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

කෙසේ නමුත් මෙම සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනා ඝාතනය කර ඇති බවට පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබිණි. ඒ එම ඝාතනය කිරීමට අදාළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු අනාවරණය කරමිණි.

Facebook
Twitter
LinkedIn