වැටුප් වැඩිකිරීම බොරුවක් – නිර්මාල්

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකළා යැයි ප්‍රකාශ කළද එය වංචාවක් හා ප්‍රෝඩාවක් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසා ඇත.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

මේ පිළිබඳව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, තමන් වැඩවර්ජනය ඇරඹීමට පෙර තිබූ වැටුපට වඩා වැඩි වැටුප් වැඩිවීමක් බවට මෙය පෙන්වීමට උත්සාහ කළද එවැන්නක් සිදු නොවන බවයි. පසුගිය ජනවාරි මාසයේ නිකුත් කළ චක්‍රලේඛය අනුව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන සේවකයන්ට 2012 වසරේ අයවැයෙන් වැඩිකළ වැටුප් වැඩිවීම ලබාදීමට කටයුතු කර ඇති බවයි.

අධ්‍යයන සේවකයන් වන ආචාර්යවරුන්ට අවස්ථා දෙකකින් වැටුප් වැඩිවීම් තිබූ බවත්, දෙවන අදියර ලෙස තමන්ට හිමි වැටුප් ලැබීම වැටුප් වැඩිකිරීමක් ලෙස මාධ්‍යයට පෙන්වන බවත් එය වංචාවක් සහ ප්‍රෝඩාවක් වන බැවින් තම වෘත්තීය අරගලය දිගටම පවත්වාගෙන යන බව දේවසිරි මහතා තවදුරටත් පවසා ඇත.

මේ අතර පසුගිය 27 වනදා පුවත්පත් කර්තෘවරුන් හමුවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ඔක්තෝබර් 01 වනදා ලැබීමට නියමිතව ඇත්තේ තමා 2011 අයවැයේදී යෝජනා කළ වැටුප් වර්ධකය බවය. සරසවි ආචාර්යවරුන්ට එය ඔක්තෝබර් මාසයේදී ලැබෙන බවත්ය. එම අවස්ථාවට සහභාගිවී සිටි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතාද ඒ බව සනාථ කර තිබේ.

නමුත් මේ පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසා ඇත්තේ, අදාළ වැටුප් වැඩිවීම සිදුවන්නේ ආචාර්යවරුන් කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බවත්, ඒ අනුව මහභාණ්ඩාගාරය කැමැත්ත පළකිරීමෙන් පසුව වැටුප් වැඩිකිරීම සිදුකර ඇති බවත්ය.

Facebook
Twitter
LinkedIn