රජයේ ආයතන කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන් සිය කාර්යභාරය නිසි ලෙස ඉටු නොකිරීම නිසා බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව (කෝප් වාර්තාව) එළිදක්‌වමින් එහි සභාපති ඇමැති ඩිව් ගුණසේකර මහතා ඊයේ (01 දා) ප්‍රකාශ කළේය. කෝප් වාර්තාව එළිදැක්‌වීම වෙනුවෙන් ඊයේ (1 දා) පාර්ලිමේන්තු කමිටු ශාලාවක පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙසේ කීවේය. ඇතැම් ගනුදෙනු සහ කරුණු සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් කරන ප්‍රශ්න කිරීම්වලදී ලේකම්වරුන් නිසි පිළිතුරු නොයවන බව ද ඔවුන් විගණකාධිපතිවරයා ගණන් නොගන්නා තත්ත්වයට පත්ව ඇතැයිද කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා පැවැසුවේය.
කිසිවකුගේ බලපෑමකට යටත් නොවී එඩිතරව කටයුතු කිරීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව මීට වඩා ශක්‌තිමත් කළ යුතු බව කී ඇමැතිවරයා දුර්වල පරිපාලනය නිසා රාජ්‍ය ආයතන හතළිහක් (40) පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතැයිද කීය.
ශ්‍රී ලංකා තේ මණ්‌ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ ශක්‌ති අරමුදල, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා පදනම, ලංකා පිඟන් සංස්‌ථාව, ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවැලි සංස්‌ථාව, ශ්‍රී ලංකා කජු සංස්‌ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන, රාජ්‍ය ඖෂධ සම්පාදන සංස්‌ථාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, විජය කුමාරතුංග අනුස්‌මරණ රෝහල, ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව, මහවැලි අධිකාරිය, ජල සම්පත් මණ්‌ඩලය, අන්තරායකර ඖෂධ පාලන මණ්‌ඩලය, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලය, ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් සේවය, මිහින් එයාර් සමාගම, ලංකා නැව් සංස්‌ථාව, සතොස, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය, මාර්ග සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්‌ඩලය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය, ලංකා ධීවර සංස්‌ථාව ඇතුළු රාජ්‍ය ආයතන හතළිහක් පාඩු පිට පවත්වාගෙන යන බව ද ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම ආයතනවලින් සමහරක් වසාදැමිය යුතු බව හෝ තවත් ආයතන සමඟ ඒකාබද්ධ කිරීම හෝ සුදුසු බව කෝප් කමිටුව නිර්දේශ කළ බව ද හෙතෙම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. මෙවර කෝප් කමිටුව හමුවේ රාජ්‍ය ආයතන 229 ක් විමර්ශනයට ලක් කළ බව ද, කී ඇමැතිවරයා මෙම ආයතන පිළිබඳ කමිටුව විසින් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට සියලු අමාත්‍යාංශ ලේකම්වරු, පාර්ලිමේන්තුවට සහභාගි විය යුතු බව ද කීය.
කෝප් කමිටුව හමුවට ආයතනවල හිටපු සභාපතිවරුන් කැඳවීමේ බලයද ඉල්ලා ඇතැයි කී ඩිව් ගුණසේකර මහතා මෙවර ඉදිරිපත් කරනුයේ ඉතිහාසයේ විශාලතම කෝප් වාර්තාව බව ද කීවේය. ලබන වසරේ සිට කෝප් වාර්තාව මාස තුනෙන් තුනට ඉදිරිපත් කිරීමට තීරණයක් ගත් බව ද එය විපක්‍ෂයේ ඉල්ලීමක් යෑයිද ඇමැතිවරයා පැවැසුවේය.









