තමන් කාලයක පටන් සිදු කළ නිරීක්ෂණ අනුව තම ප්‍රශ්න සම්බන්ධයෙන් නිරන්තරයෙන් හඬ නගන්නේ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය බව වැටහී ගිය බැවින් තමන්ට හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා ත්‍රීකුණාමලයේ ගොවි ජනපදවල නායකයින් කරන ලද ඉල්ලීමක් අනුව පසුගියදා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ එම ගොවි නායකයින් අතර හමුවක් පවත්වා තිබේ.
පසුගිය 23වනදා ත්‍රීකුණාමලය මොරවැව ප්‍රදේශයේදී මෙම හමුව පවත්වා ඇති අතර ඒ සඳහා නාමල් කරුණාරත්න මහතා, නැගෙනහිර හඬ සංවිධානයේ කැඳවුම්කරු අරුන් හේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය නියෝජනය කරමින් සහභාගී වී ඇති අතර එම ප්‍රදේශයේ ගොවි නායකයින් විශාල පිරිසක් ඊට එක් වී ඇත.
එහිදී ගොවීන් මුහුණදෙන වගා වන්දි ප්‍රශ්නය, වාරි ජල කලමණාකරණය පිළිබඳ ප්‍රශ්න සහ කලට වෙලාවට පොහොර නොලැබීම, වීවලට සහතික මිලක් නියම නොකිරීම ආදී කරුණ ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.
විශේෂයෙන් එම ගොවි නායකයින් ලිඛිතවම කරුණු සඳහන් කරමින් නාමල් කරුණාරත්න මහතාට ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයේ වී අස්වනු නෙලන බැවින් වී කිලෝවක් රුපියල් 34 වැනි මුදලකට ලබා ගන්නා නමුත් සහල් කිලෝවක් රුපියල් 100ක් දක්වා ඉහළ දමා ඇති බවය. තමන්ගෙන් 34ට ලබා ගන්නා වී මගින් නිශ්පාදනය කරනු ලබන සහල් 65ක වැනි මුදලට අලෙවි කිරීමේ හැකියාව ලෙහෙසියෙන්ම තිබියදී මෙසේ ගොවියාටත් පාරිභෝගිකයාටත් අසාධාරණයක් කරමින් වී මිලදී ගන්නන් සිදු කරන කූඨ ව්‍යාපාරය ගැන බලධාරීන්ගේ අවධාණය යොමු කරනවන ලෙසත් එය කළ හැක්කේ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයට පමණක් යැයි තමන් විශ්වාස කරන බවත් ඔවූහු එහි සඳහන් කර ඇත.
එම ගොවි ජනපදවල සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ගොවි සමිති පිහිටුවීමටද එහිදී ගොවි නායකයින් එකඟ වී තිබේ.


















