ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝවැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා!යි හෘදයාංගමව සුබපැතුම් පිරිනමන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අද (26)ට යෙදෙන රාමසාන් දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ කියා සිටියි. එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
ලොව පුරා සහෝදර මුස්ලිම් ජනතාව සහෝදරත්වය, සමානාත්මතාවය, සහජීවනය යන උසස් පරමාර්ථ පෙරදැරි කොටගෙන රාමසාන් උත්සවය මහත් හරසරින් සමරති.
ඉස්ලාම් ධර්මයේ පංච මහා වගකීම් අතර උපවාස ශීලය සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී. පුරා මාසයක කාලයක් නිරාහාර ශීලය රකිමින් රාමසාන් උපවාස පිළිවෙත ඉටුකරන මුස්ලිම් ජනතාව තම සහෝදර ජනතාවගේ දුක් වේදනා, අවශ්‍යතාවන්ට සංවේදී වෙමින්, උපකාර ලැබිය යුතු ජනතාවට පරිත්‍යාගශීලීව සහය වෙමින් සහෝදරත්වය, සහජීවනය ගොඩනැංවීමට රාමසාන් කාලයේ විශේෂයෙන් කටයුතු කරති.
එසේම මෙම උපවාස කාලය තුළ පෞද්ගලිකව මෙන්ම සමාජයක් වශයෙන් වර්ධනය කරගන්නා කායික, මානසික සන්සුන්බව, සංයමය, විනය වඩා යහපත් සමාජයක් ගොඩනැංවීම සඳහා දායක කරගැනීම මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාවය. එකී අපේක්ෂාව යථාර්ථයක් බවට පත්කරගැනීම සඳහා මෙම උපවාස සමයේ කායික හා මානසික වශයෙන් අප වර්ධනය කරගන්නා වටිනාකම්, ජීවිතයේ සෑම මොහොතකම පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය.
ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම් පිරිනමමි.









