ජනපතිගේ රාමසාන් දින පණිවිඩය

ජනපතිගේ රාමසාන් දින පණිවිඩය

මිනිසාගේ විමුක්තිය රැඳී පවතින්නේ ස්වාර්ථය මත නොව පරාර්ථය තුළ යන විශ්ව සාධාරණ පණිවුඩය රාමසාන් මාසයේදී සමාජගත වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

රාමසාන් උපවාස මාසය නිමාකොට අදට (26) යෙදෙන ඊදුල් ෆිතර් උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියි. එම පණිවුඩය සම්පූර්ණයෙන්ම මෙසේය.

භෞතික සම්පත් කෙරෙහි අසීමිත තෘෂ්ණාවෙන් හෙබි නූතන මිනිසා අතෘප්තිකර ගමනක නිරතව සිටී. මිනිසුන් අතර අසමගිය වඩවන්නටද අසහනය පතුරුවන්නටද අවිශ්වාසය ඇති කරන්නටද මෙකී විනාශකාරී පැවැත්ම හේතුවී තිබේ.

සමස්ත ලෝකවාසී ඉස්ලාම් ප්‍රජාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් මාසයේදී සමාජගත වන අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාව, පරිත්‍යාගය සහ දුගී දුප්පතුන්ට පිළිසරණවීම වැනි ගුණාංග කෙරෙන් කියැවෙන්නේ මිනිසාගේ විමුක්තිය රැඳී පවත්නේ ස්වාර්ථය මත නොව පරාර්ථය තුළ පමණක් බවය.

ඒ අනුව රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය ඔස්සේ මුළු මහත් මනුෂ්‍යත්වය විෂයෙහි ගලා යන පණිවුඩය විශ්ව සාධාරණ වූවකි. ආගමික, ආධ්‍යාත්මික සහ සමාජයීය පුරුෂාර්ථයන් මත පදනම්ව සියල්ලන් කෙරෙහි සාධාරණවීම එමගින් අපේක්ෂිතය. එමෙන්ම අන්‍යයන්ගේ සංවේදනා කෙරෙහි සංවේදී වීම ද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකි බව රාමසාන් වතාවත් අපට සිහිපත්කර දෙනු ලබයි.

ආගමික සීමාවන් අතික්‍රමණය කරමින් පොදු මිනිසත් බවට ආමන්ත්‍රණය කරන එවන් සාරාර්ථ දැක්මක් සහිත ඊදුල් ෆිතර් උත්සවය සමරනු ලබන සමස්ත ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුනට මාගේ සුබ පැතුම් පිරිනමමි.

Facebook
Twitter
LinkedIn