ජවිපෙ රාමසාන් දින පණිවිඩය

ජවිපෙ රාමසාන් දින පණිවිඩය

සහෝදරත්වයේ නාමයෙන් එකම මානව ප‍්‍රජාවක් ලෙස අත්වැල් බැඳගැනීමට රාමසාන් දිනය ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණෙ සිය රාමසාන් දින පණිවිඩය නිකුත් කරමින්කි සියා සිටියි.

එම රාමසාන් දින පණිවිඩය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

ශ‍්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන් මෙන්ම ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ද විසින් රාමසාන් උත්සවය සමරනු ලබන අද (26) දිනයේ ඉස්ලාම් බැතිමතුන්ට ජනතා විමුක්ති පෙරමුණේ සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමු.

රාමසාන් උපවාසයේ අරුත වනුයේ, ඉස්ලාම් බැතිමතුන් විසින් පුරා මාසයක කාලයක් උපවාස ශීලය රකිමින්ද දුෂ්කර ජීවිත ගත කරන තම සහෝදර ජනයාට උදව් උපකාර කිරීමට එම කාලය ප‍්‍රයෝජනයට ගැනීමය. රාමසාන් උත්සවය එම උපවාස සමයේ අවසානයයි. සහෝදර දිළිඳු පුද්ගලයින්ට, පවුල්වලට උදව් කිරීම සඳහා යොමු වන මෙම උපවාස කාලය විශේෂයෙන්ම අගය කිරීමට ලක් වන්නේ, මෙම ධනවාදී සමාජය තුළ මිනිසුන් තුළින් ඈත් කරවමින් තිබෙන මනුෂ්‍යත්වය හා අල්පේච්ඡුතාව, පරාර්ථකාමය ආදී ගුණාංගයන් රාමසාන් උත්සවය තුළ අඩංගු වීම හේතුවෙනි.

ජාතිවාදය, ආගම්වාදය මත මිනිසුන්, ජන ප‍්‍රජාවන් බෙදා වෙන් කර තැබීමේ දුෂ්ට ප‍්‍ර‍්‍රවණතා හිස එසවීමට වෙර දරන මොහොතක මනුෂ්‍යත්වයේ වටිනාකම අවධාරණය කෙරෙන රාමසාන් උත්සවයේ එළඹීම විශේෂ වැදගත්කමක් උසුලයි.

තම සම්පත් සහෝදරත්වයේ පදනම මත සෙසු අය අතරේ සමානව බෙදී යා යුතුය යන අදහස මුල් කර ගනිමින් ඉස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබන මෙම රාමසාන් උත්සවය විසින් ප‍්‍රකට කරන්නාවූ ආදර්ශය ඉස්ලාම් බැතිමතුන්ට පමණක් නොව සෙසු ජනතාවටද වැදගත් යැයි අපි විශ්වාස කරමු. එසේම ජාතිවාදී ආගම්වාදී මඩ ගොහොරුවලට නොවැටීමටත් ප‍්‍රකෝපකරවීම් නිවැරදිව හඳුනාගැනීමටත් සහෝදරත්වයේ නාමයෙන් එකම මානව ප‍්‍රජාවක් ලෙස අත්වැල් බැඳගැනීමටත් රාමසාන් දිනය ශක්තියක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Facebook
Twitter
LinkedIn