පොලීසිය යොදවා සිසුන්ට එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරය හෙළා දකිනවා – වත්මන් අගමැතිට ඉතිහාසය අමතකනම් නැවත කියවා ගන්න

පොලීසිය යොදවා සිසුන්ට එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරය හෙළා දකිනවා – වත්මන් අගමැතිට ඉතිහාසය අමතකනම් නැවත කියවා ගන්න

ෙමුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බදය විසඳාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වී සාකච්ඡාකිරිමට ඊයේ (21) විරෝධතා පෙළපාලියකින් ගිය විශ්වවිද්‍යාල සිසුන්ට කැරලි මර්ධන පොලීසිය සහ පොලිස් විශේස කාර්ය බලකාය යොදවා සිදු කළ පහරදීම හෙළා දකිමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

“කලක් අධ්‍යාපන ඇමති ලෙස සිටිමින්, මෙවැනිම ජනතාද්‍රෝහී යෝජනා ගෙනෙමින්, ඊට එරෙහි වූ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට උත්සාහ කළ වත්මන් අගමැතිවරයාට අද ඒ ඉතිහාසය අමතකව ඇත. මීටත් වඩා මර්දනයන් සිදුකරද්දී නොසැලුණු ශිෂ්‍ය ව්‍යාපාරය හමුවේ තම යෝජනා හකුළාගැනීමට සිදුවූ බව අද ඔහුට අමතක වීම කණගාටුදායකය. සිසු අරගල නතර කළ හැකි වන්නේ මර්දනයෙන් නොව අධ්‍යාපනයත් රටේ අනාගතයත් වනසන යෝජනා හකුළාගැනීමෙන් පමණක් බව ඒ ඉතිහාසය නැවත කියවීමෙන් හෝ තේරුම්ගන්නා ලෙස අපි ආණ්ඩුවට යෝජනා කර සිටිමු. මතුපරපුරේ අයිතීන් උදෙසා අරගල කරන සිසුන් මර්දනය කිරීම වහා නතරකර මාලඹේ සයිටම් හොර උපාධි කඩය වහා අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකර සිටිමු.”

යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වේ.

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.

Facebook
Twitter
LinkedIn