පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත් ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් රජයේ පාර්ශව කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ‘‘ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය – 2016“ වාර්තාවෙන් මේ බව අනාවරණය වෙයි.
එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ මෙරට ජනගහනයෙන් සියයට 4.6ක් හෙවත් 4,571,442 ක් වයස අවුරුදු 5-17ත් අතර වයසේ පසුවන බවයි. ඉන් පාසල් යන්නේ සියයට 90.1 ක් හෙවත් ළමුන් 4,118,741කි. සියයට 9.9 ක් හෙවත් 452,661ක් පාසල් නොයයි. ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවට අනුව ඉන් දරුවන් 51,249ක් හෙවත් සමස්ථ අදාල වයස් කාණ්ඩයෙන් සියයට 1.12 ක් කිසි දිනක පාසල් ගොස් නැත.
එම සමීක්ෂණය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 2016 වර්ෂයේ දී සිදුකර ඇත. එම සමීක්ෂණය සඳහා දරුවන්ගේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු, පාසල් අධ්‍යාපනය, ආර්ථික ක්‍රියාකාරකම්, සෞඛ්‍ය හා සුරක්ෂිතතාව, දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු හා විවිධ රැකියාවන්හි හා ශ්‍රම සැපයීම්වල යෙදී සිටින දරුවන්ගේ තොරතුරු ලබාගෙන ඇත.අධ්‍යාපනය ලැබීමට දරුවකුට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද තහවුරු කළ මූළික අයිතිවාසිකමක් ව තිබිය දී මෙවන් විශාල දරුවන් ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් ක්‍රමයෙන් ඈත්වීම හා කිසිදා පාසල් නොගොස් සිටීම පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බව සමාජ විශ්ලේෂකන් පෙන්වාදෙයි.










