නාමල්ට අධි චෝදනා

නාමල්ට අධි චෝදනා

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට ප්‍රථම වරට මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (06) අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී.

ඊයේ (06) අධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා මේ මස 28 වැනි දා තෙක් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කරන ලද පෙර ඇප මත මුදා හැරීමට ද නියෝග කළේය. විත්තිකරුවන් හට ඇප නියම කිරීම සඳහා නඩුව ස්ථිර විනිසුරුවරයා ඉදිරියේ කැඳවීමට මේ 28 වැනිදාට දින ලබා දුන් විනිසුරුවරයා එදින තෙක් විත්තිකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය ඔවුනට නියම කළ පෙර ඇප වූ රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් සිවු දෙනකුත් ඇප මතම මුදා හැරීමට ද නියෝග කළේය.

විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මේ නඩුවෙන් අධිචෝදනා නඟා ඇති අතර, අධිකරණය නිකුත් කළ සිතාසි මත ඊයේ (06) අධිකරණය හමුවේ පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන් පමණි.

නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා ඔරහෙලා ඉරේෂා සිල්වා විදේශගතව ඇති බැවින් ඔවුනට සිතාසි බාරදීමට නොහැකි බවට සිතාසි වාර්තා හා ඔවුන් විදේශගතව පැමිණ නැති බව තහවුරු කිරීමට ගුවන් ගමන් වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Facebook
Twitter
LinkedIn