වි.වි.ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබාදෙනු – NTUC

ආණ්ඩුව හිතාමතාම කුමන්ත‍්‍රණකාරී ලෙස රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය විනාශ කරමින් සිටින බව ඉතා පැහැදිලි බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දැනට ආරම්භ කර ඇති සාධාරණ ඉල්ලීම් 3 ක් මුල් කරගනිමින් සිදු කරන වැඩ වර්ජනය සඳහා මෙතෙක් විසඳුමක් ලබා නොදීම තුළින් ඒ බව වඩාත් තහවුරු වී ඇති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

දින 20 කට වඩා ක‍්‍රියාත්මක වූ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් වුවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ක‍්‍රියා කළේ ගැටළුවට විසඳුම් ලබා දීමේ අරමුණකට වඩා පුළුවන් තරම් එම ගැටළු නොවිසඳන දිශාවකට වන අතර එම සටන ගිවිසුමකින් අවසානයේ අවසන් කළත් විවිධාකාර පලිගැනීම් හා ගැටළු අද වන විටත් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව එම මධ්‍යස්ථානය පවසයි.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් මේ පිළිබඳව පවසා ඇති අතර එම නිවේදනය සම්පූර්ණ ලෙස මෙසේ දක්වා සිටිමු.

“අනධ්‍යයන සේවක සටන දින ගණනාවකින් පසු හෝ තාවකාලිකව යටපත් කරගත් ආණ්ඩුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සඳහා සාධාරණ ඇහුම්කන් දීමක් සිදු නොකරන්නේ මන්ද යන්න එස්.බී. දිසානායක ඇතුළු විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ බලධාරීන්ට නොතේරුනද මේ රටේ ජනතාවට වඩා හොඳින් තේරුම් ගැනීමට හැකිය.

අද වන විට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් හා අනධ්‍යයන සේවකයින්ගේ අරගලය මොහොතේ ආණ්ඩුවේ හැසිරීම හා ප‍්‍රකාශ තුළින් විශ්ව විද්‍යාල පද්ධතිය සාමකාමීව පවත්වාගෙන යමින් මේ රටේ සිසුන්ට නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් නොමැති බව ඉතා නිරවුල්ව නිරාවරණය වෙමින් පවතී.

පසුගිය 04 වන දින විශ්ව වි,ල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් ආරම්භ කළ වැඩ වර්ජනය අදාල ඉල්ලීම් ඉතාම සාධාරණ ඉල්ලීම් වන අතර ආණ්ඩුවට එම ඉල්ලීම් සඳහා මේ දක්වා කල්මරමින් නොසිට මීට පෙර එම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දිය යුතුව තිබුණි. අධ්‍යාපනය සඳහා වාර්ෂික අයවැය තුළින් 6% ක මුදල් ප‍්‍රමාණයක් වෙන් කිරීම, විශ්වවිද්‍යාල දේශපාලනීකරණය නිදහස් කිරීම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට 2008 දී පොරොන්දු වූ වැටුප් නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම යන ඉල්ලීම් කිසිවක් ආණ්ඩුවට නොසලකා හැරිය නොහැකි ඉල්ලීම්ය.

ආණ්ඩුව අද වන විට සිදු කරමින් තිබෙන වංචා දූෂණ සීමාවක් නැත. ආණ්ඩුව හා ආණ්ඩුවට සම්බන්ධ අය කරන මූල්‍ය වංචාවල කෙලවරක් නැත. සිදුකරන නාස්තිය අති විශාලය. ඒ සියල්ල වෙනුවට ආචාර්යවරුන්ගේ ඉල්ලීම් වනුයේ රටේ අධ්‍යාපනයට සාධාරණ මුදල් වෙන් කිරීමක් කරන ලෙසය. එවැනි ඉල්ලීම් අසාධාරණ ලෙස ආණ්ඩුව පැවසීමෙන් පෙනෙන්නේ රටේ අධ්‍යාපනය රැකගැනීමට දියුණු කිරීමට මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ආණ්ඩුවට ඒතරම් උවමනාවක් නොමැති බව නොවේද?

2008 වර්ෂයේ නිර්දේශී වැටුප් යෝජනාවක් මේ දක්වා ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට හැකි වී නැත. 2008 සිට 2012 දක්වා වසර 4 ක් අනුමත වූ වැටුප් නිර්දේශ ගැන තීන්දු ක‍්‍රියාත්මක කිරීමට අසමත් ආණ්ඩුවට රට සංවර්ධනය කරන්නේ කෙසේද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

ආණ්ඩුව මේ සිදුකරමින් තිබෙන්නේ බොරුව, වංචාව, ප්‍රෝඩාව රජකරවීමයි. අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් පැවැත්වෙන අරගල මර්දනය කිරීමයි. ඉල්ලීම් සඳහා සාධාරණ ඇහුම්කන්දීමක් වෙනුවෙන්  ක‍්‍රියාත්මක වී විසඳුම් ලබා දෙනවා වෙනුවට මර්දනය තුළින් අරගල යටපත් කිරීමයි.

දැනට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අරඹා ඇති වැඩ වර්ජන ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස අපි අවධාරණය කර සිටිමු. වෘත්තීය ඉල්ලීම් හමුවේ කල්මරණ ප‍්‍රතිපත්තිය තුළ හැසිරෙමින් ලාංකීය අධ්‍යාපනය විනාශය කරා ඇදගෙන යාම නතර කර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙනුත් සාධාරණ විසඳුමක් ලබා නොදී තවදුරටත් අර්බුදයක් දක්වා ගෙනයාමට ආණ්ඩුව ක‍්‍රියා කරන්නේනම් මේ රටේ ජනතාවත් වැඩ කරන ජනතාවත් ඇතුළු සමස්ත බලවේග ඊට එරෙහිව පෙළ ගස්වන බව වැඩිදුරටත් අවධාරණය කරමු. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඉතාම සාධාරණ හා සමාජයට වලංගු ඉල්ලීම් වන බැවින් එම ඉල්ලීම් මුල් කරගත් අරගලය මර්දනය කර නතර කිරීමට දරණ උත්සාහයන්ද පරාජය කළ යුතු බවත් පෙන්වා දෙන්නෙමු.”

 

Facebook
Twitter
LinkedIn