ඉන්දීය රජයේ ආරක්ෂක උපදේශක ශිවෂංකර් මෙනන් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු අද (29) දිනයේම ආපසු ඉන්දියාව බලා පිටත්විය. ඔහු අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ අරලිය ගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවී ඉතා කෙටි සාකච්ඡාවක් සිදුකර අද සවස තමා පැමිණි විශේෂ ගුවන් යානයෙන් ආපසු ඉන්දියාව බලා පිටත්ව ගියේ ය. යෑමට පෙර බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇත.
සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අශෝක් කේ කාන්ත් මහතා ද සහභාගී විය.
මෙම කෙටි කාලයේදී මෙනන් මහතා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාද හමුවිය. සම්බන්දන් මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා 13 ප්ලස් බලය ඛෙදීම පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ආණ්ඩුවට උපදෙස් ලබාදී ඇති බවය. ආණ්ඩුව ඒ අනුව කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසා තිබේ.
කෙසේ වුවද සංචාරයෙන් පසුව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ කරුණු 8 කින් සමන්විත නිවේදනයේ සඳහන් වන්නේ මෙනන් මහතා නිත්‍ය වශයෙන් සිදුකරන උපදේශන කටුයුතු සඳහා පැමිණි බවයි.










