ජෙනරාල්ට වසර තුනක සිරදඩුවමක්

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගිය ජනාධිපති වරණසමයේදී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවැති ”සුදුකොඩි නඩුවේ” තීන්දුව වූයේ ෆොන්සේකා මහතාට වසර තුනක සිර දඩුවමක් සහ රුපියල් පන්දහසක දඩයක් නියම කිරීමයි.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමග අධිකරණ භූමිය තුළ මහජන නොසන්සුන්තාවයක් ඇතිවිය. මෙය දේශපාලන බලපෑම්මත දෙන ලද තීන්දුවක් බව සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව පොලීසියේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීම මත ෆොන්සේකා මහතා අධිකරණයේ පිටුපස දොරටුවෙන් බන්ධනාගාරයට ගෙන යනු ලැබිණි.

මෙම නඩුවිභාගය පුරා වසරකට වැඩි කාලයක් පැවති අතර මෙම තීන්දුව ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ දැඩි විවාදයකට ලක්වනු ඇතැයි නීති විශාරදයෝ මත පළකරති.  ෆොන්සේකා මහතාට සහයෝගය පළකිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවන්ශ අමරසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැඩගොඩ මහතා ඇතුළු දේශපාලඥයෝ රැසක් මෙන්ම අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු පවුලේ ඥාතීහු විශාල පිරිසක් සහ නීතීඥ මහත්ම මහත්මීහු විශාල පිරිසක් එක්වී සිටියහ.

මේ අතර යටත් වූ එල්ටීටීඊ සාමාජිකයින් හට වෙඩිතබන්නැයි ආරක්ෂක ලේකම්වරයා නියෝගකර තිබූ බව සරත් ෆොන්සේකා මහතා තමා සමග කීවේ යැයි පැවසූ මාධ්‍යවේදිනී ෆෙඩ්‍රිකා ජයන්ස් මහත්මිය ආණ්ඩුවේ උපදෙස් මත විදේශ ගතවී සිටින බවට දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්