අත්‍යවශ්‍ය බෙහෙත් මිල අඩු කිරීම ආණ්ඩුවේ ප්‍රෝඩාවක් !

Image result for medicineඅත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල මිල ගණන් සියයට පනහකින් අඩු කිරීම පිළිබඳව ආණ්ඩුව ගෙන යන ප‍්‍රචාරය ජනතාව මුළා කරමින් ඖෂධ ජාවාරම් කරනු ලබන සමාගම්වලට උපරිම ලාභ ගෙන දෙන්නක් වී තිබෙන බව අනාවරණය වේ.

මේ පිළිබඳව අප කළ විමසීමකදී සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා හෙළි කළේ ආණ්ඩුව ඖෂධ මිල තීරණය කිරීමට ඉඩ දී ඇත්තේ විද්‍යාත්මක ක‍්‍රමයකට නොවන බවයි. දැනට ඉහළම මිලක් නියම වී තිබෙන ඖෂධවලට පාලන මිලක් හඳුන්වා දීම පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කිරීමට යන අතර එනිසා එකම ඖෂධයේ මිල අඩුවෙන් තිබෙන ඒවාද පාලන මිල දක්වා ඉහළ යාමේ හැකියාක් තිබෙන බව පැවසීය.

නිදර්ශනයක් වශයෙන් අධි රුධිර පීඩනය සඳහා ලබාදෙන ඖෂධයේ උපරිම මිල රුපියල් 28.00 සිට අවම මිල රුපියල් 2.00 දක්වා තිබේ. උපරිම මිල 50%කින් අඩු කරන බව පවසා පාලන මිලක් නියම කළ විට අවම මිලට පවතින රුපියල් 2.00ක් වූ පෙත්තක මිල ඉහළ යාමට හැකි බව පෙන්වා දෙන්නේය.

ආනයනික ඖෂධ මිල තීරණය කිරීමේදී පිළිගත් විද්‍යාත්මක ක‍්‍රමයක් වන්නේ වරායට ආනයනය කරන විට පවතින මිලට 65%ක් එකතු කිරීමයි. නමුත් 2002 දී වෙළඳ ඇමතිව සිටි රවී කරුණානායක එම සූත‍්‍රය අහෝසි කළ බවද ඒ අනුව ආනයනික ඖෂධ සමාගම්වලට හිතුමතයේ මිල නියම කිරීමේ අවස්ථාව ලැබුණු බවද පෙන්වා දුන්නේය. 

ඖෂධ මිල හරි අඩකින් අඩු කරන බවට ගෙන යන ප‍්‍රචාරය තවමත් ක්‍රියාවට නගා නැත. සැබැවින්ම ඖෂධ මාෆියාව අහෝසි කරන්නේ නම් මිල නියම කිරීමට 2002ට පෙර තිබූ සූත‍්‍රය ආදේශ කිරීම කෙටිකාලීන ඇත්ත විසැඳුමක් බවද වෛද්‍යව ජයන්ත බණ්ඩාර මහතා හෙළි කළේය.

Facebook
Twitter
LinkedIn