පකිස්තානය හමුවේ ලෝක ශූර කොදෙව්වන්ට දරුණු පරාජයක්!

පන්දුවාර විස්සයි 20 ලෝක ශූරයින් වන බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි 20 තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට පකිස්තාන කණ්ඩායම ඊයේ (27) සමත් විය.

අවසන් තරගය අබුඩාබියේ ෂෙයික් ෂෙයිඩ් ක්‍රීඩාංගනයේ පැවැති අතර කාසියේ වාසිය දිනූ පකිස්තාන නායකයා පළමුව පන්දුවට පහර දීමට කොදෙව්වන්ට අවස්ථාව ලබා දුන්නේය. පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී කොදෙව්වන්ට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 103ක් පමණි.  කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ නොදැවී ලකුණු 42ක් රැස් කළ මාලන් සැමුවෙල්ය. අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 16 සීමාව පසු කිරීමට නොහැකි වූ අතර කොදෙව් ඉනිමේ පළමු කඩුළු තුන ලකුණු 17කදී බිඳ දැමීමට පකිස්තාන පන්දු යවන්නන් සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානුවන් පන්දුවාර 15.1 කදී කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රහණ තහවුරු කර ගැනීමට සමත් විය. පකිස්තාන ඉනිම වෙනුවෙන් ෂොයිබ් මලික් නොදැවී ලකුණු 43ක්ද බාබර් අසාම් නොදැවී ලකුණු 27ක්ද රැස් කිරීමට සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය හා තරගාවලියේ වීරයා සම්මානය පකිස්තාන පන්දු බලඇණියේ ඉමාඩ් වසීම් හිමිකර ගැනීමට සමත් විය.

ලෝක ශූර කොදෙව්වන් පකිස්තානුවන් ඉදිරියේ මෙලෙස දරුණු පසුබෑමකට ලක්වීම දැඩි කතා බහක් ඇති කර තිබේ. පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තමන් ලැබූ පළමු පන්දුවාර විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය මෙය වන අතර මීට පෙර ඔවුන් පන්දුවාර විස්සයි 20 තරගාවලියකදී එක් තරගයකට වඩා ජයග්‍රහණය කර නොමැති වීමද විශේෂත්වයකි. පකිස්තානුවන්ගේ පළමු පන්දුවාර විස්සයි 20 තරගාවලි ජය ලෝක ශූරයින් පරදවා පූරණ ජයග්‍රහණයක් ලෙස හිමි කරගැනීම ඔවුන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් වේ.

Facebook
Twitter
LinkedIn