කම්කරු නිලධාරීන්ගේ ගැටලුව පිළිබඳ කල් තැබීමේ විවාදයක්

Image result for sri lanka parliamentපසුගිය 07වෙනිදා සිට ආරම්භ කරන ලද කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර එම නිලධාරීන්ට එවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වූ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ලබන 20වනදා පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් ඉල්ලීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇතැයි වාර්තාවේ.

මහජන සේවය වැඩිදියුණු කිරීම සඳහා පළාත් කම්කරු කොමසාරිස් කාර්යාල ප‍්‍රතිව්‍යූහගත කිරීම සහ ඊට අදාලව කම්කරු සබඳතා සේවා ව්‍යවස්ථාව සකස් කිරීම ඔවුන්ගේ ඉල්ලීම් වී තිබෙන අනමුත් වෘත්තීය ක‍්‍රියාමාර්ගය පිළිබඳව ආණ්ඩුවේ නිසි අවධානය තවමත් යොමුවී නොමැති බව දිගින් දිගටම වෘත්තීය සමිති චෝදනා කරයි. 

මේ අතර එම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ නිරත කම්කරු නිලධාරීන් පිරිසක් පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා හමුවී ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වා ඇත.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතාටද වෘත්තීය සමිති විසින් කම්කරු නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකර තිබුණ අතර අනුර දිසානායක මහතා සහ විජිත හේරත් මහතා අතරද මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වී තිබේ. 

ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් ඉල්ලීමට තීරණය වී ඇත.

ජවිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් එම විවාදය ලබන 20වෙනිදා ඉල්ලීමට පියවර ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn