බංග්ලාදේශයේ ත්‍රස්ත ප්‍රහාරය සහ දකුණු චීන මුහුදේ ඇමරිකා එක්සත් ජනපද මැදිහත්වීම හෙළා දකිමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය 13වනදා ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර අංශය විසින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනය මෙසේය.
“බංග්ලාදේශයේ ධකා අගනුවරට ආසන්න දින කිහිපයක දී සිදු කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය ලෙස අපි දැඩිව හෙළා දකිමු. තිස් අවුරුදු යුද්ධයක දුක් වේදනා හා බලපෑම් පිළිබඳ අත්දැකීම් ඇති අපි මෙවන් අවස්ථාවක දී ජනතාව තුළ ඇති වන පීඩනය හා කණගාටුදායක තත්වය පිළිබඳව මනා අවබෝධයක සිටිමු. එසේම එම බියගුළු ප්‍රහාර නිසා ජීවිතක්ෂයට පත් වූ බංග්ලාදේශයේ හා විදේශ රටවල පුරවැසියන්ගේ පවුල්වලට කණගාටුව ප්‍රකාශ කිරීමටද මෙය අවස්ථාව කර ගනිමු. එමෙන් ම මෙම ප්‍රහාර නිසා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
අධිරාජ්‍යවාදී රටවල් විසින් ආරම්භ කරන ලද සහ එහි අනුග්‍රහය ලබන ත්‍රස්තවාදී සහ ජාතිවාදී සංවිධානවල කටයුතු නිසා අද ලොව බොහෝ රටවල අතිමහත් විනාශයන් හා බිහිසුණු සිවිල් යුද්ධ ඇති වී තිබේ. විශේෂයෙන්ම පසුගිය කාලයේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව අනුව ආරම්භ කරන ලද ‘මුජහිදීන’, ‘අල්කයිඩා’, ‘අයිඑස්අයිඑස්’වැනි ත්‍රස්ත සංවිධාන සෘජුව ම අධිරාජ්‍යවාදී රටවල හා ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන රටවල, යුදමය හා මුදල්මය ආධාර මත යැපෙන බව නොරහසකි.
මේ වනවිට දකුණු ආසියානු කලාපය තුළම ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය පූර්ණ වශයෙන්ද බංග්ලාදේශය හා ඉන්දියාව අර්ධ වශයෙන්ද මෙම අන්තවාදී සංවිධානවල ප්‍රහාරයට ගොදුරු වී තිබේ. එයින් ප්‍රකට වනුයේ මැදපෙරදිගින් ඇරඹුණු මෙම ප්‍රහාර ඇමරිකාවට, යුරෝපයට මෙන්ම දකුණු ආසියාවටද පැතිරෙමින් ඇති බවයි. දශක තුනක් තුළ දී ජයග්‍රාහී නිදහස් අරගල දෙකකට දායකත්වය දුන් බංග්ලාදේශ ජනතාව මෙම ත්‍රස්තවාදී කි‍්‍රයාවලට නොබියව මුහුණ දී එයින් තම රට නිදහස් කර ගැනීමට සමත් වෙතැයි අපි විශ්වාස කරමු.
එසේ ම දකුණු ආසියාව සහ ආසියානු කලාපය තම යුද හා ආර්ථික උපායමාර්ගයේ ඊ ළඟ ගොදුර බවට පත් කර ගැනීමට අධිරාජ්‍යවාදීන් විසින් දරන උත්සාහයන් ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දැඩිව හෙළා දකිමු.
විශේෂයෙන් ම චීනය ඉලක්ක කරගෙන සිදු කරන ප්‍රකෝප කිරීම් මෙහි ලා විශේෂයෙන් සඳහන් කරමු. දකුණු චීන මුහුදේ දූපත් කිහිපයක අයිතිය පිළිබඳව ඇති වී තිබෙන ගැටලූවේදී ඒවාට අයිතිවාසිකම් කියන රටවල් අතර සාකච්ඡාවකින් එම ප්රශ්නය විසඳාගත යුතු යැයි විශ්වාස කරන අපි, එම ගැටලුව දඩමීමා කරගෙන එක්සත් ජනපදය විසින් කලාපයට කරනු ලබන ඇඟිලි ගැසීම් හා ප්‍රකෝප කිරීම් හෙළා දකිමු. තම පැවැත්ම වෙනුවෙන් ලොව පුරාම යුද්ධ අවුළුවන අධිරාජ්‍යවාදය එහිම ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ත්‍රස්ත ප්‍රහාර ගැනත් ඒ ආශි‍්‍රත ප්‍රශ්න ගැනත් සාකච්ඡා කිරීමට තමන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දිගින් දිගටම එවීම හාස්‍යජනක බව දකින අපි එක්සත් ජනපදය ප්රමුඛ අධිරාජ්‍යවාදී රටවල යුදවාදී, ආක්රමණකාරී භූමිකාව ලොව පුරා ජනතාවගේ පිළිකුලට ලක්වී ඇති බවත් මෙහිලා සඳහන් කරමු.
ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන් සහ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලින් පීඩාවට ලක් වී සිටින ලෝකවාසී සියලු ජනතාවට අධිරාජ්‍යවාදය බැඳ දමන දම්වැලක පුරුක් බවට පත්වන මෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.
ජාත්‍යන්තර අංශය
ජනතා විමුක්ති පෙරමුණ
2016.07.13″









