යෝෂිත රාජපක්ෂගේ මිත්තණියට අයත් යැයි පැවසෙන රුපියල් මිලියන 24ක වටිනාකමකින් යුතු රත්මලානේ පිහිටි නිවස සහ ඉඩම විකිණීම තහනම් කරන නියෝගයක් ඊයේ (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය නිකුත් කර තිබේ.
මෙම නියෝගය නුගේගොඩ ඉඩම් රෙජිස්ටාර්වරයා වෙත යොමු කර ඇති අතර ඉඩම මිලදී ගැනීම සඳහා මුදල් උපයා ගත් ආකාරය තහවුරු කිරීමට 80 විය ඉක්මවූ ඩේසි ෆොරෙස්ට් (යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය) අපොහොසත්ව ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදු කළ විමර්ශනයකදී තහවුරු වී තිබේ.
නො. 172/2 , මිහිඳු මාවත, ගල්කිස්ස යන ලිපිනය නමින් ඩේසි ෆොරස්ට් යන අය මෙම ඉඩම මිලදී ගෙන ඇති අතර මෙම තොරතුරු හෙළිදරව් වී ඇත්තේ අයථා මාර්ගයෙන් උපයා ගන්නා ලද බවට සැක කරන මුදල් යොදවා දේපළ මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකරන විමර්ශනයකදීය.
මෙම ඉඩම සහ නිවස ඩේසි ෆොරෙස්ට් නමින් මිලදී ගෙන ඇත්තේ කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක්ස් (CSN) ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපති යෝෂිත රාජපක්ෂ විසින් බවත් ඒ සඳහා යොදවා ඇති මුදල් අයථා මාර්ගයෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරේ. ඩේසි ෆොරස්ට් යන අය සතු ඉඩම් හා දේපළ පිළිබඳ තවදුරටත් පරීක්ෂා කිරීමේදී රත්මලාන, සිරිමල් උයන, කෙකටිය පෙදෙස අංක 4 දරන පර්චස් 31ක නිවසක් සහිත ඉඩම මිලදී ගෙන ඇති බවට කරුණු අනාවරණය කර ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සමත් වී තිබේ.
මෙම ඉඩම විකිණීම හා අන්සතු කිරීම තහනම් කරන ලෙසට මූල්‍ය අපරාධ කොට්ඨාසය මෝසමක්ධි මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අදාළ ඉඩම විකිණීමට සූදානම් වන බවට තොරතුරු ලැබීමත් සමග බව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ. 









