නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු සැපයීමේදී සිදු කර තිබෙන රුපියල් මිලියන 1803ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ සිටින දූෂිතයින්ට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක විය යුතු බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.
පසුගිය 14 වැනි දින ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් භාර දෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු…
2015 වසරේ විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවා එම ටෙන්ඩර් ලබා දීමේදී වැඩි මිලක් ඉදිරිපත් කරනු ලැබූ සමාගමකට ඒ සඳහා අවස්ථාව ලබා දීම මගින් රුපියල් මිලියන 1803ක මුදලක් අහිමි කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලබා දීමට කටයුතු කළ කමිටුවේ ප්‍රධානීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. දින 100 ආණ්ඩුවේ හිටපු විදුලිබල ඇමතිවරයාත් මේ සඳහා වගකිව යුතු වෙනවා. මෙවැනි දැවැන්ත ජනතා මුදලක් අහිමි කිරීමට කටයුතු කළ සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ විතරක් නෙවෙයි මෙම ටෙන්ඩර් මගඩියෙන් අහිමි කර තිබෙන, පාඩු කර තිබෙන මුදල අදාළ පුද්ගලයින්ගෙන් අයකර ගැනීමටත් යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතැ යැයි පැවසීය. 










