බැඳුම්කර මගඩිය ගැන විගණකාධිපති හෙළි කර තිබෙන්නේ මොනවා ද?

“සභා තොමෝ සතුටින් විසිර ගියහ.” යන යෙදුම අපි කාටත් ගමේ සුභසාධක සමිතියේ දී අසන්නට ලැබෙන දෙයකි. ලේකම් මහත්මා විසින් පසුගිය සමිති වාර්තාව කියැවීම අවසන් කරන්නේ මෙම වගන්තියෙනි. 2015 පෙබරවාරි මස 27 වැනි දින සිට 2016 ජුනි මස 30 වැනි දින දක්වා අවුරුද්දකුත් මාස හතරකට අධික කාලයක් මේ රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙයක් අවසානයේ ලිවීමට සිදු වී තිබෙන්නේ මෙවැනි ම වූ “අර්ජුන් මහේන්ද්‍රන් සතුටින් ගෙදර ගියේ ය.” යන ලෙස වූ වගන්තියක් බව සෑම අතින් ම පැහැදිලි වේ.

රජයට ණය ගැනීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ දී මෙරට ජනතාවගේ මුදල් රුපියල් කෝටි සිය ගණනක් වූ මූල්‍ය අපරාධයක් සිදු කර තිබෙන බවට මුලින් ම ජනතාව හමුවේ හෙළි කළේ ‘ලංකා’පුවත් පතයි. 2015 මාර්තු මස 08 වැනි දින පුවත් පතේ ‘අලුත් මහ බැංකු ලොක්කාගේ බෑණා දැවැන්ත මූල්‍ය ජාවාරමක’ යන සිරස්තලයෙන් ඒ පිළිබඳව හෙළි කළෙමු.

මෙම මහා මූල්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු මුලින් ම ජනතාවට හෙළි කර පසුව සවිස්තර ලිපි කීපයක් ද පළ කළෙමු. ඒ තුළින් ජනතාවට විශාල තොරතුරු ප‍්‍රමාණයක් හෙළි කළේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණාත් සමඟ ම සෘජුව ම වගඋත්තරකරුවන් කරමින් ය. රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ පුද්ගලයන් ඉන් පසුව ක්‍රියා කළේ වෙනත් ආකාරයට ය.

1. රනිල් වික‍්‍රමසිංහ අගමැති තම පාක්‍ෂික කණිෂ්ඨ නීතිඥවරුන් තිදෙනකුගෙන් යුක්ත පරීක්‍ෂණ කමිටුවක් පත් කිරීම.

2. එම බැඳුම්කර නිකුත් කිරීමට නියමිත ක්‍රියාවලියට අනුව සිදු කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීම.

3. පසුගිය අගෝස්තු මස 17 වැනි දින පැවැත් වූ මහා මැතිවරණ සමයේ අධිකරණය ගණිකා නිවාසයක් බවට පත් කර ගනිමින්, අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ පිළේ ගැත්තකු නඩු පැවරීම සහ එක්සත් ජාතික පක්‍ෂයේ අයකු හෙජින් ගිවිසුම පිළිබඳව අජිත් නිවාඞ් කබ්රාල්ට විරුද්ධව නඩු පැවරීම. මැතිවරණය අවසානයේ තම කාරිය ඉටු කරගෙන ගණිකා නිවාසයෙන් බැහැරව යන්නා සේ මේ දෙපිරිස ම තම තමන්ගේ නඩු ඉල්ලා අස් කර ගැනීම යන කඩඉම් තුනක ආවරණය ලබමින්, අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති වශයෙන් දිගට ම රඳවා තබා ගැනීමට කි‍්‍රයා කිරීම.

මේ උප්පරවැට්ටි අවසානයේ බැඳුම්කර වංචාව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ යළිත් විමර්ශනයට ලක් කෙරිණ. එම කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර, සුනිල් හඳුන්නෙත්ති සමඟ සෙසු සාමාජිකයන් මෙම තීරණාත්මක පරීක්‍ෂණය යළි ඇරැඹී ය.

විගණකාධිපතිවරයා ද තම වාර්තාව ඉදිරිපත් කළේ ය. ඒ ගැන කෝප් කමිටුව එය විමර්ශනය කරමින් සිටී. විගණකාධිපතිවරයාගේ රහස්‍ය වාර්තාව කතානායකවරයාට ලබා දී තිබේ. විගණකාධිපතිට හෝ කෝප් කමිටුවට හෝ වැරැුදිකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ දඬුවම් පැමිණැවීමේ බලයක් නැත. මෙය හරියට ම තේරුම් ගත යුතු ය. ‘ලංකා’ මෙයට පෙර කීප වරක් හෙළි කර තිබෙන පරිදි හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ යටතේ ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 19,375ක් කොල්ලකන ලද රාජපක්‍ෂ හෙංචයියන් නිදැල්ලේ සිටින පරිදි ය. එම මහා මූල්‍ය අපරාධය ඇතුළත් එවකට සිටි කෝප් සභාපති, ඩිව් ගුණසේකර යටතේ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එතැනින් එහාට කිසිවක් සිදු වූයේ නැත. වර්තමාන කෝප් කමිටුවේ තත්ත්වය ද දැනට මෙම සීමාවේ පවතී.

මහජන අධිකරණය ඉදිරියේ විභාග කිරීමට කරුණු ගණනාවක් විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් හෙළි කර ඇත. එම කරුණු මහජන අධිකරණය ඉදිරියේ කාටත් තේරෙන සේ දිගහරින්නේ කෙසේ ද?

වාර්තාව සකස් කිරීමේ දී විගණකාධිපතිවරයා හමුවේ තිබූ සීමාවන් 10ක් පිළිබඳව මුලින් ම හෙළි කර තිබිණි. බැඳුම්කර නිකුත් කිරීමේ කි‍්‍රයාවලියට අදාළ සමස්ත සටහන් තබා ගන්නා අත් පොත් මුදල් මණ්ඩලය වෙත නොතිබීම, මූල්‍ය සහ ආර්ථික විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ප‍්‍රමාණවත් කාලයක් නොතිබිීම හා රහස්‍යභාවය පිළිබඳ ගැටලු මතු කර තිබීම, විශේෂඥයන් හා මහ බැංකුවේ නිලධාරීන්ගේ සේවය අපක්‍ෂපාතීව ලබා ගත හැකි වේ ද යන ගැටලුව, ප‍්‍රශ්නය සම්බන්ධයෙන් චූදිත ‘පර්පැචුවල් ටෝෂරීස්’ සමාගමෙන් තොරතුරු ලබා ගැනීමට බලයක් නොතිබීම, මහ බැංකු නිලධාරීන් සහ ප‍්‍රාථමික තැරැවුකරුවන් අතර දුරකථන සංවාද පටිගත කර නොතිබීම නිසා එම තොරතුරු පරීක්‍ෂා කළ නොහැකි වීම, 2015 පෙබරවාරි මස 27 වැනි දින බැඳුම්කර නිකුතුවේ සජීව දර්ශන භෞතිකව පරීක්‍ෂා කළ නොහැකි වීම සහ මහ බැංකුව විසින් ලබා දී තිබූ තොරතුරු සියල්ල ම රහස්‍ය ඒවා බවට වාර්තා කර තිබීම ඇතුළු සීමාවන් දහයක් දක්වා තිබිණ.

විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු සාකච්ඡුා කිරීමට පෙර බැඳුම්කර මඟින් රජය ණය ලබා ගන්නේ කෙසේ දැයි සරලව තේරුම්ගෙන තිබීම වැදගත් වේ. පින්තෝ මහත්තයාට ණය මුදලක් ගැනීමට සිදු වී තිබෙන බව සිතමු. පින්තෝ මහතාගේ මුදල් කටයුතු බලා කියා ගන්නා පින්තෝ මහත්මියට ණය අවශ්‍යතාව දැනුම් දෙයි. පින්තෝ මහත්මිය සිය සැමියාගේ මුදල් අවශ්‍යතාවය තක්සේරු කර ශිරන්ති, පුෂ්පා, අයෝමා නම් බ්‍රෝකර්වරියන්ට කියන්නී ය. එම බ්‍රෝකර්වරියන් විසින් සල්ලි පොලියට දෙන බැසිල්, මහින්ද, ගෝඨා ඇතුළු පොලී මුදලාලිලා පිරිසක් පින්තෝ මහත්මියට මුණගස්වනු ලැබේ. බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ද මෙසේ ය. පින්තෝ මහතා ශ්‍රී ලංකා රජය ද, පින්තෝ මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුව ද, ශිරන්ති ඇතුළු අය බ්‍රෝකර්වරියන් ප‍්‍රාථමික අලෙවිකරු ලෙස ද, බැසිල් ඇතුළු අය සල්ලි පොලියට දීමට සූදානමින් සිටින පොලී මුදලාලිලා හෙවත් ද්විතීයික වෙළෙඳපොළ ලෙස ද හඳුනා ගනිමු.

පොලියට ණය ගන්නා කෙනාගේ මූලික අරමුණ අඩු පොලියට වාසිදායක ආපසු ගෙවීමේ කොන්දේසි මත ණය ලබා ගැනීමයි. බ්‍රෝකර්වරියන් උත්සාහ කරන්නේ බ්‍රෝකර් ගාස්තුව වැඩි කර ගැනීම සඳහා වැඩියෙන් ණය මුදල් ලබා දී වැඩි බ්‍රෝකර් ගාස්තුවක් අය කිරීම මඟින් තමන්ගේ ආදායම වැඩි කර ගැනීමටයි. පොලී මුදලාලිලා උත්සාහ කරන්නේ බ්‍රෝකර්වරියන් හරහා වැඩි ම ණය මුදල් ප‍්‍රමාණයක් පින්තෝ මහතාට ලබා දී බ්‍රෝකර්වරියන්ගේ ගාස්තුව අඩුවෙන් දී වැඩි ම පොලී ආදායමක් තමන් සතු කර ගැනීමටයි. පින්තෝ මහතාට ණය මුදලක් ලබා ගැනීම පදනම්කරගෙන පින්තෝ මහත්මියත්, බ්‍රෝකර්වරියනුත්, පොලී මුදලාලිලාත් තමතමන්ට වැඩි වාසි ලබාගෙන හැකි ආකාරයට මෙම ගනුදෙනුව කරගෙන යාමට පෙළැඹේ.

මෙතැනින් ඉදිරියට ඇත්තේ, තරමක් සංකීර්ණ ක්‍රියාවලියකි. මූල්‍ය වෙළෙඳපොළේ ස්වභාවය මේ සංකීර්ණකම වේ. පින්තෝ මහතාට අවශ්‍ය ණය මුදල් ප‍්‍රමාණය රුපියල් ලක්‍ෂ 10ක් යැයි ද, ණය ආපසු ගෙවන්නේ අවුරුදු 30කින් යැයි ද, තමන් ගෙවීමට සූදානම් පොලී අනුපාතය සියයට 9.48ක් යැයි ද පින්තෝ මහතා වෙනුවෙන් පින්තෝ මහත්මිය තමන්ගේ මූලික කොන්දේසි බ්‍රෝකර්වරියන්ට ඉදිරිපත් කරන්නී ය. පින්තෝ මහත්මියත්, පොලී මුදලාලිලාත් අතර සම්බන්ධය ගොඩනඟන බ්‍රෝකර්වරියන් මෙතැන දී බලවත් කාර්යයක් ඉටු කිරීමට පෙළැඹේ. මන් ද, පින්තෝ පාර්ශ්වයෙන් සහ පොලී මුදලාලිලා යන දෙපැත්තෙන් ම වැඩි වාසිසහගත ආදායම් ලබා ගැනීමට බ්‍රෝකර්වරියන් විසින් උත්සාහ කරනු ලබන බැවිනි.

පින්තෝ මහතාට වඩාත් වාසි ලබා දීමේ අරමුණින් පින්තෝ මහත්මිය මූලික කොන්දේසි දෙකක් ඉදිරිපත් කරයි: 1. “ඔයගොල්ලන් අපට ලක්‍ෂ 11ක් දෙන්න. හැබැයි, අපි පොලී ගෙවන්නේ ලක්‍ෂ 10ටයි. අවුරුදු තිහකට පස්සේ ඔයගොල්ලන්ට අපි ආපහු ගෙවන්නේ ලක්‍ෂ 10යි. ඒ වෙනුවට අපි අවුරුදු 30ක් ම සියයට 9.48 ගාණේ පොලී ගෙවනවා. (අධි මිල ක‍්‍රමය) මුලින් ම ඉදිරිපත් කරයි. මෙයට බ්‍රෝකර්වරුන් අකැමැති වෙයි. එවිට දෙවැනි කොන්දේසිය ඉදිරිපත් කරන්නී ය. එය ද සරල ය. 2. “ඔයගොල්ලන් අපට ලක්‍ෂ 10ක් දෙන්න. අපි අවුරුදු තිහක් ම පොලිය (සියයට 9.48) ගෙවනවා. (සම මිල ක‍්‍රමය) බ්‍රෝකර්වරියන් මෙයට ද අකැමැති වේ. ආර්ථික වටාපිටාව සහ මේ මොහොතේ ඔහු මුහුණ දී සිටින සල්ලි හදිස්සිය ගැන හොඳින් අවබෝධ කර ගන්නා බ්‍රෝකර්වරියන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට කොන්දේසි දෙකක් ඉදිරිපත් කරයි. 1. “නෑ… අපි ඔයාට ලක්‍ෂ 10ක් නොවෙයි, නවයයි දෙන්නේ. හැබැයි, අපට ලක්‍ෂ 10කට පොලී සියයට 9.48 ගාණේ  ඕනෑ, අවුරුදු තිහකට පස්සේ ලක්‍ෂ 10ක් ම ආපසු ගෙවන්නත්  ඕනෑ. 2. “අපි ඔයගොල්ලන්ට ලක්‍ෂ 10ක් නොවෙයි, ලක්‍ෂ නවයයි දෙන්නේ. හැබැයි අපට ලක්‍ෂ 10කට සියයට 12.5 ගාණේ පොලිය ගෙවන්න  ඕනෑ. අවුරුදු තිහකට පස්සේ ලක්‍ෂ 10ක් ම ගෙවන්නත්  ඕනෑ. (අව මිල ක‍්‍රමය).

පින්තෝ මහත්මාගේ පවුල් ජීවිතය හුදු පාරිභෝගික ගනුදෙනුවක් පමණක් බව සනාථ කරමින්, පින්තෝ මහත්මිය බ්‍රෝකර්වරියන් ඉදිරිපත් කළ දෙවැනි ක‍්‍රමයට (අව මිල ක‍්‍රමයට* ණය මුදල ලබා දීමට තීන්දු කරන්නී ය. දැනට මේ තත්ත්වය මතකයේ තබාගෙන විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් කර තිබෙන කරුණු රැුසක් අතුරින් කීපයක් ගැන සොයා බලමු.

එම වාර්තාවේ 5.1.7 ජේයේ සඳහන් වැදගත් කරුණු මෙසේයි: “දේශීය ණය කළමනාකරණ කමිටුව විසින් ප‍්‍රාථමික වෙන්දේසියෙන් නිකුත් කිරීමට නිර්දේශ කර තිබුණේ රුපියල් බිලියන එකක බැඳුම්කර පමණි. එසේ වුවද, එම ප‍්‍රමාණය මෙන් දසගුණයකටත් වඩා වැඩි ප‍්‍රමාණයක් එනම්, බිලියන 10.058ක් දක්වා ලංසු පිළිගැනීමට 2015 පෙබරවාරි මස 27 වැනි දින වෙන්දේසිය පැවැත්වීමෙන් අනතුරුව පැය 12.30 සිට පැය 13.10 දක්වා පැවැත්වුණු අංක 2/2015 දරන භාණ්ඩාගාර බැඳුම්කර ටෙන්ඩර් කමිටුව (Treasury Bond Tender Committee) විසින් තීරණය කර තිබිණි. (ඇමුණුම ··iv) මෙහි දී නිරීක්‍ෂණය වූ වැදගත් කරුන වන්නේ ඉහත තීරණය ගෙන ඇත්තේ වෙන්දේසිය පැවැත්වීමෙන් ද අනතුරුව බව ය. …. එම තත්ත්වය යටතේ එදින වෙන්දේසියේ දී 9.3510 සිට 11.7270 දක්වා වූ බර තැබූ ඵලදා අනුපාතයකට මිල ගණන් ඉදිරිපත් කර තිබූ ප‍්‍රාථමික ගනුදෙනුකරුවන් 14 දෙනෙකුට වසර 30කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් (ඇමුණුම ··v) රුපියල් බිලියන 10.058ක් උපයා ගැනීමට අපේක්‍ෂා කළ ද, වට්ටම් අනුපාතයට (අව මිලට) නිකුත් කිරීම නිසා රුපියල්  බිලියන 9.658ක් පමණක් උපයාගැනීමට හැකිව තිබිණි.”

පින්තෝ මහතා (රජය) මුහුණ දී සිටින සල්ලි අමාරුකමේ තරම හොඳින් තේරුම්ගෙන සිටින පින්තෝ මහත්මිය (මහ බැංකුව) රුපියල් ලක්‍ෂ 10ක ණය මුදල ලබා ගැනීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින අවස්ථාවේ දී ක්‍රියා කර ඇත්තේ, රුපියල් ලක්‍ෂ 10ක් (රජය ගැනීමට අපේක්‍ෂා කළ මුදල රුපියල් කෝටි 100ක්) වෙනුවට රුපියල් ලක්‍ෂ 100ක් (රුපියල් කෝටි 1,005කුත්, ලක්‍ෂ 80ක්) ලබා ගැනීමට ය. මෙහි දී වසර තිහක පොලී අනුපාතය සියයට 9.3510 සිට සියයට 11.7270ක් දක්වා ඉහළ දමා තිබේ. අනෙක් වැදගත් ම දේ රුපියල් කෝටි 1,005කුත් ලක්‍ෂ 80ක් ණය වශයෙන් ලබා ගත් ලෙස පොලිය ගෙවීම සහ වසර 30ක් අවසානයේ ආපසු ගෙවීමට සිදු වුව ද, මුදල් වශයෙන් ලබාගෙන තිබෙන සමස්ත ණය මුදල කෝටි 965කුත් ලක්‍ෂ 80ක් බව ය.  රුපියල් කෝටි 40ක පාඩුවක් එතැනින් රජයට සිදුව තිබේ. මෙතරම් අවාසිදායක ණය ගැනීමක් කර තිබෙන්නේ බැඳුම්කර වෙන්දේසිය අවසන් වී ටෙන්ඩර් කමිටු තීරණය ලබා ගැනීමෙනුත් පසුව බව විගණකාධිපතිවරයා (5.1.8 ඡේදය) හෙළි කර තිබේ.

හෙළි කර තිබෙන තවත් වැදගත්ම කරුණක් වන්නේ පවතින හදිසි ණය අවශ්‍යතාවය ඇතුළු සියලු කරුණු සලකා බලමින්, ටෙන්ඩර් කමිටුව තීරණය කර තිබී ඇත්තේ, රුපියල් 260 කෝටි 80 ලක්‍ෂයක ණය මෙම බැඳුම්කර වෙන්දේසිය මඟින් ගැනීම ය. “විවිධ වූ විශ්ලේෂණයන්ට ලක් කිරීමෙන් පසුව සකසන ලද විවිධ විකල්ප (options) හතක් අතුරින් 05 වැනි විකල්ප අවස්ථාව අනුගමනය කිරීම උචිත බවත්, රුපියල් බිලියන 2.608ක් වෙන්දේසියෙන් උපයා ගන්නා ලෙසත් භාණ්ඩාගාර බැඳුම්කර ටෙන්ඩර් කමිටුවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබිණි (5.1.9 ඡේදය).

මෙලෙස අමතර ප‍්‍රශ්න රැසක් විගණකාධිපතිවරයාගේ පරීක්‍ෂණ මඟින් සොයාගෙන තිබේ. මේ කරුණු අතර බලවත් ම ගැටලුව වන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් ‘පර්පැචුවල් ටෙ‍්‍රෂරීස්’ නම් සමාගම පිළිබඳ ප‍්‍රශ්නයයි.

අපේ නිදර්ශනයට අදාළ ශිරන්ති, පුෂ්පා, අයෝමා වැනි බ්‍රෝකර්වරියන් හෙවත් ‘ප‍්‍රාථමික අලෙවි නියෝජිතයන්’ යනුවෙන් හඳුන්වන 14 දෙනෙක් මෙම ණය ගනුදෙනුවල අතරමැදි කටයුතු සඳහා ලියාපදිංචි වී සිටිති. අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් සමාගම තිබෙන්නේ ලියාපදිංචි ප‍්‍රාථමික අලෙවිකරුවන් 14 දෙනා අතර ය. මහ බැංකුව දැන්වීම් පළ කර තිබූ පරිදි රුපියල් කෝටි 100ක ණය මුදල පමණක් ලබා ගත්තේ නම්, රජයට වාසිදායක අඩු පොලී අනුපාත යටතේ ණය සැපයීමට ඉදිරිපත් වූ බ්‍රෝකර්වරුන් (ප‍්‍රාථමික අලෙවිකරුවන්) අතර අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගම තිබී නැත.

“එදින වෙන්දේසිය මඟින් නිකුත් කිරීමට අපේක්‍ෂා කළ රුපියල් බිලියන එකක මුදල රුපියල් බිලියන 10.058ක් දක්වා වැඩි කිරීමට තීරණය කිරීම හේතුවෙන් ප‍්‍රාථමික වෙළෙඳුන් හත්දෙනා අතර ද නොසිටි ‘ණ’ ආයතනයට එදින නිකුත් කරන ලද මුළු බැඳුම්කර වටිනාකමින් සියයට 50ක් එනම්, රුපියල් බිලියන පහක් ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබීම කැපී පෙනෙන ලක්‍ෂණයක් විය.” මෙහි ‘ණ’ යනුවෙන් හඳුන්වා ඇත්තේ බෑණාගේ සමාගමයි. ණය ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබූ පරිදි රුපියල් කෝටි 100ක් ලබා ගත්තේ නම්, මේ ඉහළ පොලියකට ණය දීමට සූදානමින් සිටි බෑණාගේ සමාගමට අවස්ථාවක් හිමි නොවේ. එහෙත්, බැඳුම්කර වෙන්දේසිය පැවැත්වීමෙන් ද, පසුව ගන්නා ලද තීරණයක් අනුව රුපියල් කෝටි 100ක ණය මුදල රුපියල් කෝටි 1,000ක් දක්වා වැඩි කිරීම නිසා ණය දෙන බෑණාගේ සමාගමට රුපියල් කෝටි 500ක් සියයට 12.5ක්  වූ ඉහළ ම පොලී අනුපාතයක් යටතේ ණය දීමේ අවස්ථාව හිමි කර දී ඇත. (මෙයට පෙර තීරණය කරන ලද ඉහළ පොලිය වූ සියයට 11.7270ද ඉක්මවා යමිනි).

“වෙන්දේසියට දින දෙකකට පෙර එනම්, 2015 පෙබරවාරි මස 25 වැනිදාට පෙර අවසන් සතියේ ද්වීතියික වෙළෙඳපොළේ සාමාන්‍ය ඵලදා අනුපාතය 10.03ක් පමණක් විය. ඒ අනුව පෙබරවාරි මස 27 වැනි දින වෙන්දේසිය සඳහා ස්ථාවර පොලී අනුපාතය ලෙස සියයට 12.5 තීරණය කළ ආකාරය අනාවරණය නොවී ය.” (5.1.19 ඡේදය) යනුවෙන් විගණකාධිපති වාර්තාවේ මෙම ඉහළ පොලිය ගැන සඳහන් කර තිබේ. පොලී ඉහළ යාම නිසා රජයට සිදු වන මූල්‍යමය පාඩුව කොතෙක් දැයි ගණනය කර තිබුණේ නැත.

“ඉහළ පොලී අනුපාතිකයන් යටතේ වර්ෂ 30ක් වැනි දිගුකාලීන අමතර පිරිවැය ද රජයට සිදු වන අවාසියක් ලෙස සැලැකිය යුතු බව ද නිගමනය කරනු ලැබේ. මෙහි දී නිරීක්‍ෂණය වූ  ඉතා වැදගත් කරුණක් වන්නේ වර්ෂ 30ක් වැනි දිගුකාලීන බැඳුම්කරයක පොලී අනුපාතිකයෙන් සිදු වන ඉතා කුඩා වැඩි වීමක් වුව ද, රජයට ඉතා විශාල මූල්‍ය අවාසියක් සිදු විය හැකි වීමයි. (5.1.19 ඡේදය)

 

තවත් විශේෂත්වයක් වන්නේ බෑණාගේ සමාගමට රුපියල් කෝටි 500ක බැඳුම්කර ලබා ගැනීමට රුපියල් කෝටි 300ක මුදල් ලංකා බැංකුවෙන් ලබාගෙන තිබීමයි. අනෙක් පැත්තෙන් ලංකා බැංකුව ද අර ලියාපදිංචි බ්‍රෝකර්වරුන් 14 දෙනා අතර සිටිය දී ලංකා බැංකුවේ මුදල් බෑණාගේ සමාගම ලබාගෙන එම බැඳුම්කර මිල දී ගැනීමට යොදවා තිබේ. මේ අතර විගණකාධිපති වාර්තාවෙන් අවධාරණය කර ඇත්තේ, සේවක අර්ථසාධක අරමුදල, ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන මහ බැංකුව යටතේ පාලනය රාජ්‍ය ආයතන බැඳුම්කර ප‍්‍රාථමික අලෙවිකරුවන් වශයෙන් සිටිය දී ඔවුන් අඩු පොලී ගණන් ඉදිරිපත් කර තිබිය දී, බෑණාගේ සමාගමෙන් ඉහළ පොලියට ණය ලබාගෙන තිබීමයි.

මෙසේ ඉහළ පොලියට ලබා ගත් බැඳුම්කර ඊට වඩා අඩු පොලියක් යටතේ මෙම රාජ්‍ය ආයතනවලට යළි විකුණා (ද්විතීයික වෙළෙඳපොළේ දී) තිබේ දැයි සොයා බැලිය යුතු බව විගණකාධිපතිවරයා පැහැදිලි කර තිබේ. මෙසේ තිබිය දී 2016 මාර්තු මස 29 වැනි දින රුපියල් කෝටි 4,000ක ණය මුදල් ලබා ගැනීමට බැඳුම්කර අලෙවියක් පවත්වා ඇති අතර, එහි දී ද අති විශාල මූල්‍ය කොල්ලයක් සිදු වූ බව පැහැදිලි වේ. එදින රුපියල් කෝටි 4,000ක් ණය ගැනීමට තීරණය කර තිබුණ ද. රුපියල් කෝටි 7,773කුත් ලක්‍ෂ 20ක ණය ගැනීමට පසුව ක්‍ෂණිකව තීරණය කර ඇත.

මෙම ණය ගැනීමේ දී බෑණාගේ බ්‍රෝකර් සමාගම හරහා රුපියල් කෝටි 4,664ක් ලබාගෙන ඇත. එනම්, ලබා ගත් මුළු ණය මුදල වූ රුපියල් කෝටි 7,773කින් රුපියල් කෝටි 4,664ක අති විශාල ප‍්‍රමාණය (සියයට 60ක්) බෑණාගේ සමාගම හරහා ලබාගෙන තිබීමයි. මෙම පොලී අනුපාතය සියයට 14.0742ක් දක්වා ඉහළටගෙන තිබී ඇත.

“මෙම බැඳුම්කර නිකුත් කළ දිනයට පෙර පැවැති වෙන්දේසි දෙක ම ප‍්‍රතිකෂේප කර තිබූ පදනම වූ ඵලදා අනුපාත වැඩි වීම මෙම වෙන්දේසියේ දී ද එලෙස ම නිරීක්‍ෂණය වුව ද, ඉහළ ම ඵලදා අනුපාතයන්ට එනම්, සියයට 14.0742ක් දක්වා ඵලදා අනුපාතයන්ට මෙම බැඳුම්කර නිකුත් කර තිබිණි. මෙහි දී අනාවරණය වූ වැදගත් කරුණක් වන්නේ ඉහත අවස්ථා දෙකෙහි දී ම ප‍්‍රතික්‍ෂේප කරන ලද අනුපාත ඉක්මවා මෙවර අනුපාතය පිළිගැනීම ය.” (5.2.1 ඡේදය).

මාර්තු 29 බැඳුම්කර වෙන්දේසියේ තවත් සුවිශේෂී දෙයක් වී තිබී ඇත්තේ, කල් පිරීමේ දී සියයට 14.0742ක ඉහළ ම පොලියක් ගෙවීමට අමතරව මෙම ගනුදෙනුව සිදු වන අවස්ථාවේ දී ම ක්‍ෂණිකව රුපියල් කෝටි 1,840කුත් ලක්‍ෂ 70ක පාඩුවක් සිදු වී තිබේ. එය සිදු වී තිබෙන්නේ බෑණාගේ සමාගමෙන් සියයට 60ක් වූ විශාල ප‍්‍රමාණයක් ලබා ගත් මුළු ණය මුදල රුපියල් කෝටි 7,773ක් වශයෙන් සඳහන් වුව ද, සැබැවින් ම එදින අතට ලැබී ඇත්තේ, රුපියල් කෝටි 5,932ක් පමණක් වීම නිසා ය. (අව මිලට ගැනීම).

ග්‍රීසියේ බැඳුම්කරවල මෙරට මහජනතාවගේ මුදල් රුපියල් කෝටි හත්සිය ගණනක් යොදවා අත පිසදා ගත්තේ ද, හෙජින් ගිවිසුම මඟින් රුපියල් කෝටි දහස් ගණනක් අපතේ යවා අත පිස දා ගත්තේ ද අජිත් නිවාඩ් කබ්රාල් නම් මහින්ද ගැති හිටපු මහ බැංකු අධිපති ය. අත පිස දා ගනිමින්, ඔහු දී තිබූ උත්තරය වූයේ මූල්‍ය ගනුදෙනුවල දී ලාභ මෙන් ම පාඩු ද සිදු වන බවයි. මෙවැනි උත්තර හැටහුටහමාරක් රනිල්ගේ ගජ මිතුරා වන අර්ජුන් මහේන්ද්‍රන්ට ද තිබේ. 2015 මාර්තු මස 29 වැනි දින බැඳුම්කර වෙන්දේසියෙන් ක්‍ෂණික පාඩුව වශයෙන් අප ඉහත දැක් වූ රුපියල් කෝටි 1,840ක පාඩුව එවැන්නකි. මෙවැනි පාඩු සිදු වූ තැන් ගණනාවක් විගණකාධිපති වාර්තාවෙන් හෙළි කර තිබේ. රනිල් – මෛත්‍රී හවුල් පාලන සමයේ පමණක් නොව 2014දී මහින්ද පවුල් පාලනයේ දී ද මෙවැනි තත්ත්වයන් දක්වා තිබේ. මේ සියල්ල මූල්‍ය බුද්ධි ඒකකය හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ ඒ සඳහා සුවිශේෂී සුදුසුකම් සහ හැකියාවන් මෙන් ම අධිකාරීමය බලයක් තිබෙන ආයතනයක් ලවා පරීක්‍ෂා කරවා ගත යුතුව තිබේ. ඒ සඳහා කරුණු කාරණා රැසක් විගණකාධිපති වාර්තාවෙන් දක්වා තිබේ.

එතෙක් මූල්‍ය ගනුදෙනුවල දී ලාභ පාඩු සිදු වන බව ප‍්‍රකාශ කර කාට කාටත් අත සෝදා ගත නොහැකදි කරුණක් විගණකාධිපතිවරයා හෙළි කර තිබේ. “2015 පෙබරවාරි මස 27 වැනි දින සහ 2016 මාර්තු මස 29 වැනි දින පැවැති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙකේ දී වළක්වා ගැනීමට හැකිව තිබූ එකතුව රුපියල් 167,42,56,805.00ක ඇස්තමේන්තුගත අවාසිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව බලධාරීන් වගකිව යුතු බව නිගමනය කරනු ලැබේ.” විගණකාධිපතිවරයාගේ නිගමනය එය නම්, රුපියල් කෝටි 167ක පාඩුවක් අර්ජුන් මහේන්ද්‍රන් සිදු කර තිබෙන බව පැහැදිලි ය. මෙම බැඳුම්කර මගඩි දෙක හරහා සිදු කර තිබෙන රුපියල් කෝටි දහස් ගණනක මූල්‍ය අපරාධය පිළිබඳව සම්පූර්ණයෙන් සොයා බැලීම තව දුරටත් විවෘතව තිබෙන අතර, රුපියල් කෝටි 167ක නිශ්චිත මූල්‍ය අපරාධය කර තිබිය දී “අර්ජුන් මහේන්ද්‍රන් සතුටින් ගෙදර ගියේ ය.” යන සටහනට ඉඩ තබා අත සෝදා ගන්නේ දැයි රනිල් – මෛත්‍රී හවුල් පාලනය ජනතාවට පිළිතුරු දිය යුතුව තිබේ. 

ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn