සාමකාමී හා සාධාරණ ශිෂ්‍ය උද්ඝෝෂණවලට පහරදෙමින්, සිසු නායකයින් අත්අඩංගුවට ගනිමින් ආණ්ඩුව ගෙනයන මෙම මර්දනකාරී ක්‍රියාපිළිවෙත දැඩි ලෙස හෙළා දකින බවත් දිගින් දිගටම සිදුකරන ශිෂ්‍ය මර්දනය වහාම නවතා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සිසුවා ඇතුලු අත්අඩංගුවේ පසුවන සියලුම සිසුන් වහාම නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට බලකරන බවත් සිසු පරපුර මුහුණ දී සිටින ගැටලු පොදු සමාජ ගැටලු ලෙස සලකා නිදහස් අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කර ගැනීමට හා ශිෂ්‍ය මර්දනය නැවැත්වීමට ආණ්ඩුවට බලකිරීමට පෙරට එන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.
“අඛණ්ඩව සිදුකරන සිසු මර්දනය හෙළා දකිමු!
පසුගිය සියලුම ආණ්ඩු මෙන්ම වත්මන් හවුල් ආණ්ඩුවද ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කොට බියවැද්දීම සඳහා දිගින් දිගටම කටයුතු කරන බව පෙනේ.
ලංකාවේ සියලුම පාලකයින් කාලයක් තිස්සේ අනුගමනය කරනු ලැබූ නව ලිබරල්වාදී ආර්ථික ප්රතිපත්තියත්, ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයට පිළියමත් ලෙස ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග නිසා ලංකාවේ නිදහස් අධ්‍යාපනය දිගින් දිගටම කප්පාදු කරමින් තිබේ. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා ආණ්ඩු විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තිබෙන අතර පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඉන් එක් අවස්ථාවක් පමණි.
රටතුළ සිදුකරන නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහි අනවරත අරගලයක නියලුණේත් දැනට අරගල කරමින් සිටින්නේත් මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයයි. නිදහස් අධ්‍යාපනය අහෝසි නොකරන ලෙස ආණ්ඩුවට බලකරමින් සිදුකරන ශිෂ්‍ය උද්ඝෝෂණවලට, සිසුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දී ඒවා විසඳනවා වෙනුවට බංකළොත් ආණ්ඩු විසින් සිදුකරනු ලබන්නේ ශිෂ්‍ය අරගල මර්දනය කිරීම හා සිසු නායකයින් දඩයම් කිරීමයි.
සාමකාමී හා සාධාරණ ශිෂ්‍ය උද්ඝෝෂණවලට ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර එල්ල කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඔළු පලන, ලේ සොලවන ආණ්ඩුව විවිධ චෝදනා නඟා ඔවුන් අත්අඩංගුවටද ගනිමින් පංති තහනම් කරමින් දිගින් දිගටම සිය මර්දනකාරී ක්‍රියාපිළිවෙත අනුගමනය කරමින් සිටී. මේ පිළිබඳ අලුත්ම උදාහරණය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සිසුවා අත්අඩංගුවට ගැනීමයි.
සාමකාමී හා සාධාරණ ශිෂ්‍ය උද්ඝෝෂණවලට පහරදෙමින්, සිසු නායකයින් අත්අඩංගුවට ගනිමින් ආණ්ඩුව ගෙනයන මෙම මර්දනකාරී ක්‍රියාපිළිවෙත දැඩි ලෙස හෙළා දකින අපි දිගින් දිගටම සිදුකරන ශිෂ්‍ය මර්දනය වහාම නවතන ලෙසත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සිසුවා ඇතුලු අත්අඩංගුවේ පසුවන සියලුම සිසුන් වහාම නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට බලකර සිටිමු.
එමෙන්ම වර්තමානයේ සිසු පරපුර මුහුණ දී සිටින ගැටලු පොදු සමාජ ගැටලු ලෙස සලකා නිදහස් අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කර ගැනීමටත්, ශිෂ්‍ය මර්දනය නැවැත්වීමටත් ආණ්ඩුවට බලකිරීමට පෙරට එන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2016.07.10″









