මහ බැංකුවට අධිපතිවරයෙකු පත් නොකිරීමෙන් අර්බුද රැසක්

මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය 29වන මධ්‍යම රාත්‍රියෙන් අවස්වූ අතර අද (01) වනතුරුත් එම ධුරය සඳහා සුදුස්සෙකු පත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වීම තුළ අර්බුද රැසක් මතුවෙමින් පවතින බව මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පවසිති.

එම තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නමක් යෝජනා කර ඔහුව පත් කිරීමට සූදානම් වුවද පසුව අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමත් සමග එය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළේය.

පසුව අග්‍රාමාත්‍යවරයා විසින්ද එම තනතුරු සඳහා තවත් අයෙකුගේ නමක් යෝජනා කර ඇති බව වාර්තා වන අතර අග්‍රාමාත්‍යවරයාගේ එම මැදිහත්වීමත් සමග තත්වය තවදුරටත් අර්බුදයක් බවට පත්වී ඇත.

පසුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රාර්ශවයෙන්ම යෝජනා වී ඇත්තේ මේ දිනවල විදේශගතව සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නැවත දිවයිනට පැමිණීමෙන් පසු ඔහුගේද අදහස් විමසා අදාළ පත් කිරම සුදුසු බවටය.

ඒ අනුව තවදුරත් අදාළ පත් කිරීමට දින ගණනාවක් කල්ගතවන අතර ලංකා ඉතිහාසයේ කිසිදු දිනක මහ බැංකුවට අධිපතිවරයෙක් නොමැතිව පවත්වාගෙන ගොස් නැත.

මහ බැංකුවේ අධිපතිවරයෙකු නොමැති තත්වයක් තුළ මතුවන ප්‍රධානම අර්බුද දෙකක් ඇති බව මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පවසති.

ප්‍රධානවශයෙන් රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී මූල්‍ය මණ්ඩලය කැඳවන අතර එහි කැඳවීමේ බලය හිමිවන්නේ මහ බැංකුවේ අධිපතිවරයාටයැයි ඔවූහු පවසති. රජය ලබා ගන්නා ණය, එහි අනුපාත, පොලී අනුපාත ආදිය සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ ගන්නා අතර රජය අනුගමණය කරන සියළුම මූල්‍ය කටයුතුවල තීන්දු තීරණ ගනු ලබන්නේ මූල්‍ය මණ්ඩලය විසිණ් යැයිද ඔවූහු පවසති.

මෙරට ඩොලර් සංචිතය සීග්‍රයෙන් අවසන් වෙමින් යන අතර එයින් මතුව අර්බුදයන් මගහරවා ගැනීමට නව මුදල් නෝට්ටු අච්චු ගැසීම නිරන්තරයෙන් මෙරට තුළ සිදුවන අතර  එම මුදල් නොට්ටුවල මහ බැංකු අධිපතිවරයා සිය අත්සන යෙදීම අනිවාර්ය කටයුත්තක් බවත් මේ වනවිට මෙරට මහ බැංකුවේ අධිපතිවරයෙකු නොමැති වීම තුළ නව මුදල් නෝට්ටු අච්චු ගැසීමට නොහැකි වන තත්වයක්ද උද්ගතවී තිබෙන බවත් ඔවූහු පෙන්වා දෙති. 

මෙරට ආයෝජන සිදුකරීමට අපේක්ෂා කරන ව්‍යාපාරිකයන්ටද මෙම අස්තාවරත්වය තුළ යම් දෙගිඩියාවක් අතැවන බවත් කොටස් වෙළෙඳපොළේද යම් කඩා වැටීමක් අපේක්ෂා කළ හැකි බවත් ඔවූහු වැඩිදුරටත් පවසති.

Facebook
Twitter
LinkedIn