රාජ්‍ය ග්‍රහණයෙන් රටක් නිදහස් කර ගත හැක්කේ මහජන නැගිටීම්වලින් – ජේ.සී. වැලිඅමුණ

 

රාජ්‍ය ග්‍රහණයට හසුවූ රටක් නිදහස් කර ගත හැක්කේ බොහෝ විට මහජන නැගිටීම්වලින් බව ඔප්පු වී තිඛෙනවා. ලංකාවේ රාජ්‍ය ග්‍රහණය සිදුවීමට තිඛෙන ඉඩකඩ බැහැර කරන්න බැහැ. මේ විෂය ගැන දැනුවත්වීමෙන් ඊට එරෙහිව අරගලයක් දියත් කර සමාජයේ යහ පැවැත්ම සහ පාලනය ස්ථාපිත කර ගත හැකි බව නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (15) දූෂණ විරෝධී හඩ සංවිධානය කළ සම්මන්ත්‍රණයක ප්‍රසිද්ධ දේශනය පවත්වමිනි.

ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල 31ක දූෂණය සහ යහපාලනය කියලා විෂයක් අධ්‍යයනය කරනවා. එයින් අපිට පැහැදිලි වන්නේ මේ විෂය කොතරම් ගැඹුරුද යන්නයි. ඒ පර්යේෂණ ලෝකයේ රටවල් ගණනාවක දැනටත් කෙරෙමින් පවතිනවා. නව තාක්ෂණය විද්‍යාව, ආර්ථීකය සහ දේශපාලනය වගේම දූෂණ සහ යහපාලනය වැදගත් විෂයක් වී තිඛෙන අවස්ථාවක දූෂණ විරෝධී හ`ඩ ආරම්භ කර ඇති මේ කටයුත්ත අගය කළ යුතු දෙයක්.

දූෂණය යන්නට නිශ්චිත අර්ත නිරූපනයක් තිඛෙනවා. තමන්ට හිමි නීතිමය බලය තම වාසියට යොදාගැනීම දූෂණ යන්නෙන් අදහස් කරනවා. අල්ලස දූෂණය කියන දෙයින් ඔබ්බට ගිය ආකාර 04ක් අඩුම තරමින් මේ මාතෘකාවෙන් ආවරණය කරනවා.

01. දූෂණය කියන්නේ තමන්ගේ දේශපාලන බලය නැත්නම් නිල බලය යොදා ගනිමින් පෙර අර්ථ දැක්වූ ආකාරයට තමන්ගේ වාසිය සඳහා යොදා ගැනීමයි.

02. බැඳියාවන් අතර ගැටුම – කෙනෙකුට තිඛෙන නීතිමය බලය යොදාගැනීමේදී පුද්ගලික වාසි ලබාගැනීමයි. උදාහරණයකින් මෙය පැහැදිලි කරනවා නම් වී මෝල් හිමිකාරිත්වයක් ඇති ඇමතිවරයෙක් තමන්ට වාසිදායක තත්වයන් අපේක‍ෂාවෙන් රජයේ වී තොග එළියට දැමීම ගන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික බස් අයිති ඇමතිවරයෙක් ඒ තනතුරේ වගකීම් දැරීමත් බැඳියාවන් අතර ගැටුමක් වශයෙන් හදුන්වන්න පුළුවන්. මේ ආකාරයෙන් දූෂණ සිදුවෙනවා.

03. අභ්‍යන්තර තොරතුරු විකීණීම – ජාතික ඉතිරිකිරීමේ බැංකුව බ්‍රෝකර් සමාගමක් සමග එකතුව කළ ගණුදෙනුව ආසන්නම උදාහරණයක්. ඒ වගේම ශ්‍රී ලාංකිකයෙකු වූ රාජ් රාජරත්නම් ඇමරිකාවේදී අත්අඩංගුවට පත්ව සිරදඩුවම් නියන වන්නේත් අභ්‍යන්තර තොරතුරු විකිණීම නිසයි. මේ නිසා මූල්‍ය වංචාවන් සිදුවිය හැකියි. ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය ලේඛනයක රහස් පිටතට ලබාදීම තවත් උදාහරණයක්. ඥාති සංග්‍රහ අභ්‍යන්තර තොරතුරු යන්නෙහිම තවත් නිදර්ශනයක් වශයෙන් දැක්විය හැකියි.

04. රාජ්‍ය ග්‍රහණය – ලෝකයේ රාජ්‍ය ග්‍රහණය සම්බන්ධ ප්‍රවණතාවක් පවතින යුගයක් හැටියටත් මේ යුගය හදුන්වන්න පුළුවන්. ඉන්දියාවේ ගුවන් විදුලි තරංග සෙලියුලර් සමාගම් 29කට ඛෙදා දීමේදී සිදුකළ ගණුදෙනුව අපට ආසන්න රාජ්‍යයක ගණුදෙනුවක් හැටියට දක්වන්න පුළුවන්. මෙම සමාගම්වලට තරංග මාලා වෙන්කර දීමට ඩොලර් මිලියන 34.5ක් වැය කළා. ඒ අතරින් සමාගම් 22ක් වෙනුවෙන් වෙනත් ආකාරයකට තරංග මාලා වෙන්කළා. එටිසෙලාට් සමාගමට ලබාදුන් තරංග මාලා වෙනුවෙන් ඩොලර් මිලියන 839ක් ලබාගෙන තිබුණා. මේ ගනුදෙනුව ඩී.එම්.කේ. පක්ෂයේ රාජා නැමැති ඇමතිවරයාගේ මූලිකත්වයෙන් සිදුවී ඇති බව හෙළිවුණා. මේ ගනුදෙනු අල්ලා බැලිය නොහැකි ප්‍රඥාගෝචර දේවල්. කොහොම වුණත් විගණකාධිපතිවරයා මේ ගැන පරීක්ෂණ පැවැත්වූවා. රාජා ඇමතිවරයා වගේම කරුණානිධි හිටපු මහඇමතිවරයාගේ දුව ඇතුළු සමාගම් 18ක ප්‍රධාන විධායක නිලධාරීන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළා. බොහෝ  දෙනෙක් අද වෙනකොට සිරදඩුවම් ලබනවා. තරංග මාලා කියන්නේ රාජ්‍ය ආදායම් ලැබීමේ එක අංගයක්. නමුත් අපේ රටේ තමන්ගේ ඡන්දයට වැඩ කළ අයට ලබාදෙන ත්‍යාගයක් වෙනවා.

සුදුවෑන්වලට පොලිස් නිලධාරීන් ඇතුළු හමුදා නිලධාරීන් යොදා ගැනීමත් දූෂණයක් වශයෙන් හදුනාගන්න පුළුවන්. ඔවුන් රාජ්‍ය සේවයට බදවාගෙන තිඛෙන්නේ වෙනත් නිශ්චිත කාර්යයක් වෙනුවෙන්. එයින් පිට යොදා ගැනීම දූෂණයක්.

2003 අවුරුද්දේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වැදගත් ජාත්‍යන්තර ප්‍රඥප්තියක් හදුන්වා දුන්නා. එය නම් කර තිඛෙන්නේ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය කියලයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය වගේම මේ ප්‍රඥප්තියත් ජාත්‍යන්තරව බලපැවැත්වෙන්නක්. ඊට මුලින්ම අත්සන් කළේ ශී්‍ර ලංකාව. ඒ අනුව ශී්‍ර ලංකාවේ  දූෂණ විරෝධී ක්‍රියාකාරම් සම්බන්ධයෙන් වාර්ෂික වාර්තාවක් එක්සත් ජාතීන්ට ලබාදිය යුතුයි. 2012 වසර අවසානයේදී එය ලබාදීමට නියමිතව තිඛෙනවා.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ ප්‍රධාන සිද්ධාන්ත ගණනාවක්ම තිඛෙනවා.

01.රාජ්‍ය සේවයට බඳවාගැනීම්, උසස්කිරීම, තෝරාගැනීම් දක්ෂතාවය මත සහ විනිවිදභාවයක් මත කි්‍රයාත්මක කිරීම අවශ්‍යයි.

02. රාජ්‍ය මූල්‍ය වගවීම විනිවිදභාවයකින් යුතු හා රහසිගතභාවයකින් තොර විය යුතුයි. (මේ අනුව කැතික් ගණුදෙනුව වගේ දෙයක් වෙන්න බැහැ)

03. අධිකරණය නීතිපති සහ නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව කටයුතු කළ යුතුයි.

04. පෞද්ගලික අංශයේ දූෂණ මර්දනය පිළිබඳ වගවීමට අනුගත විය යුතුයි.

05. විදේශ රාජ්‍යවල සහ ජාත්‍යන්තර ආයතනවල නිලධාරීන්ද ඇතුළුව අල්ලස් දීම හා දූෂණ කි්‍රයාවල යෙදීම අපරාධ නීතියක් බවට පත්කළ යුතුයි. (මුක්තියක් තිබිය නොහැකියි) ඒ අනුව තානාපති නිලධාරීන්ටත් අධිකරණ කි්‍රයාමාර්ග පොදුයි.

06. දූෂිතව ලැබූ මුදල් කිසියම් රාජ්‍යයක් තුළ තබාගත නොහැකියි. එවැනි මුදලක් අලාභයක් සිදුවූ රටට නැවත ලබාදිය යුතුයි.

07.  දුෂණ මර්දනය සඳහා රටවල් අතර අනෝන්‍ය අවබෝධය ලබාගත යුතුයි. මේ වගේ මූලික සිද්ධාන්තවලට යටත්ව එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය කි්‍රයාත්මකව පවතිනවා.

මගේ විශේෂ අවධානය දූෂණ ගැන මිත්‍යා මතවලට යොමු කිරීමට කැමතියි. ඒ වගේ එක මිත්‍යා මතයක් තමයි ඒකාධිපති පාලනයකදී දූෂණ මැඩලිය හැකි බව. නමුත් අප්‍රිකාවේදී අපට පැහැදිලි වන්නේ ඒකාධිපති නායකයින් සිටි පමණින් දූෂණ අඩුවනවා වෙනුවට ඉතා විශාල වශයෙන් වැඩිවී ඇති ආකාරයයි. ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඊට සාපේක්ෂව දූෂණ අඩු බව පැහැදිලි වනවා. තවත් මිත්‍යා මතයක් වන්නේ දූෂණය දේශපාලන ක්‍රමයේ පිළිඹිබුවක් යන්නයි. නියම සමාජවාදී හෝ ධනවාදී පාලනයක් ඇත්නම් දූෂණ සිදු නොවන බවට මිත්‍යාවක් පවතිනවා. ඒ වගේම මිලිටරි පාලනයක් පවතින රටවල ආගමික අධිකාරිත්වයක් පවතින රටවල දූෂණය අඩුබව කීම මිත්‍යාවක්. ඕනෑම රටක ඕනෑම දේශපාලන තත්වයක් යටතේ ජීවත්වන අයෙකුට හෙම්බිරිස්සාව හැදීමේ හැකියාව තිඛෙනවා සේම ඕනෑම දේශපාලන ක්‍රමයක් යටතේ දූෂණය ඇතිවීමේ විභවයක් පවතිනවා. දූෂණයේත් ප්‍රබේදය වෙනස් වෙන්න පුළුවන්.

මූල්‍ය පාඩුවක් නොවන දූෂණ පවතිනවා. උදාහරණයක් වශයෙන් ස්ථානමාරුවීමක් ලබාගැනීමට ඉහළ නිලධාරියෙක් සමග රෙස්ට් හවුස් එකකට යාම එවැනි තත්වයක්. මේ ලෙසින් දූෂණය ගැන පැතිරුණු අවකාශ තිඛෙන බව දැන් අපට පැහැදිලියි.

මගේ අවධානය ආර්ථීක දූෂණයට බලපාන වෙනත් දෘෂ්ටිමය පැත්තක් කෙරෙහි යොමු කරන්න කැමතියි. රටක සංවර්ධනීය පැවැත්මට ආයෝජන අවශ්‍ය බව අපි දන්නවා. ආයෝජන ලබාගත් හැක්කේ ක්‍රම දෙකකටයි. ඒ ඉතිරිකිරීම සහ ණය ලබාගැනීමෙන්. 1948 සිටම ලංකාවේ ආදායමෙන් 82%ක් පරිභෝජනයට යොදාගෙන තිඛෙනවා. ඉතිරි වූයේ 18%යි. ආයෝජනවලට යොදාගත හැකිවූයේ මේ 18% ප්‍රමාණයයි. නමුත් අද වනවිට පරිභෝජන වියදම් සෘණ අගයක් අරගෙන තිඛෙනවා. එයින් අදහස් කරන්නේ තමන් ලබන ආදායම මදිවී ණයට ලබාගෙන පරිභෝජනය කිරීමයි. මේ තත්වයට රට ඇදවැටීම පිළිබඳව පැවැති සහ පවතින ආණ්ඩු වගකිව යුතුයි. මෙය අර්බුදයක් බව බොහෝ දෙනාගේ මතයයි. අර්බුදයට පිළියම් යොදන්නේ රජයේ හා පෞද්ගලික අංශයේ පරිභෝජනය අඩුකිරීමට කටයුතු කිරීමෙන්. වෙනත් වචනවලින් කියනවානම් පටි තද කරගැනීමෙන්. දේශපාලන අරමුණු සහිතව ඔරොත්තු නොදෙන නාස්තිකාර වියදම් දැරීම නිසා අපේ රටට මේ තත්වය අත්වී තිඛෙනවා. උදාහරණ කිහිපයක් දක්වන්නම්.

හම්බන්තොට වරාය ණය අරගෙන ශක්‍යතා අධ්‍යන වාර්තාවක් පවා නොමැතිව කරගෙන යනවා. ප්‍රතිලාභ ගැන තියෙන අපේක්ෂා සිහින බවට පත්නොවේ යැයි කියන්න සාධක නැහැ. මත්තල ගුවන්තොටපොළ තවත් ව්‍යාපෘතියක්. විකල්ප ගුවන්තොටුපොළක අවශ්‍යතාව පෙන්වා දෙමින් මේ ව්‍යාපෘතිය පටන් ගත්තා. නමුත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ හැකියාව තිබියදී එය නොතකා මත්තල ගොඩ නගනවා. සූරියවැව ක්‍රීඩාංගණයත් තව උදාහරණයක්. තනිකරම සුදු අලියක් වන බවට කිසිදු දැකයක් නැහැ. ඒ වගේමයි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලංකාවට ලබාගන්න පූර්ව සැලසුමේ ලන්සුවට බිලියන ගණනක් යෙදවූවා. මහ බැංකු අධිපතිවරයා ඇතුළු කිහිපදෙනෙක් එක්වී නටමින් ගයමින් කළ සංචාරය විතරක් ඉතිරි වුණා. රජයේ සේවකයන්ට මේ විදියට වගකීම් රහිතව කටයුතු කළ හැකිද? රුපියල් 10,000ට අඩු වගකීමක් වෙනුවෙන් වියදම් දැරූ රජයේ සේවකයන් සේවයෙන් පහකළ අවස්ථා තිඛෙනවා. නමුත් මේ සුදු අලින් ගැන වගකියන්නේ කවුද?

වර්තමාන ලෝකයේ රාජ්‍යයන් ඉදිරිපත් කරන අයවැය ලේඛනවල රහස් වියදම් නැහැ. නමුත් ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ රහස් වියදම් ගැන මුදල් රෙගුලාසි 137ඩී වගන්තියේ සඳහන් කර තිඛෙනවා. ‘ආරක්ෂක අමාත්‍යාංශයේ යම් සේවාවක් රහස් සේවාවක් වශයෙන් ජනාධිපතිවරයා  හා මුදල් ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ නම් එය කිසිදු බාහිර පාර්ශවයකට ප්‍රශ්න කළ නොහැකියි.‘ ඒ යටතේ ඇති දරන ලද වියදම්වලට ජනාධිපති සහ මුදල් ඇමති අත්සන් කරන්නේ නම් විගණකාධිපතිවරයාට ඒ ගැන විගණනය කළ නොහැකිියි. ලංකාවේ ජනාධිපතිවරයා මුදල් ඇමති ධූරයත් දරනවා. මේ තත්වය රටේ ප්‍රගමනයට බලපාන්නේ කොහොමද? ඒ වගේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නාගරික සංවර්ධනයත් කලවම් කරගෙන කෝප් වාර්තාවට හෝ පාර්ලිමේන්තුවටත් ඒ වියදම් පිළිබඳ සටහන් ලැඛෙන්නේ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයේ රහස් වියදම් ගණයට ඒවා යටත් කර තිඛෙනවා.

කාල්ටන් ස්පෝර්ට් ටීවී චැනල් එක තව ප්‍රධාන ආයතනයක්. ශී්‍ර ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මේ ටීවී චැනල් එකේ විධායක නිලධාරියෙක් මේ තත්වය යටතේ වාර්ෂිකව පවත්වන ක්‍රිකට් තරඟවල විකාශන අයිතිය වෙනත් ටීවී චැනල් එකකට ලබාගන්න ටෙන්ඩර් කැඳවීමේදී බැදියාවන් අතර ගැටීමක් අනිවාර්යයෙන්ම ඇතිවෙනවා. මේ වනවිට රේස් කෝස් පිටියේ හමුදාව යෙදවා කරන ප්‍රතිසංස්කරණවලින් පසු කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ආයතනයට ලබානොදුන හොත් මට ඒ බව දන්වන්න.

මගේ විශේෂම අවධානය යොමු කළ යුතු තත්වයක් වශයෙන් “රාජ්‍ය ග්‍රහණය” හඳුනාගෙන තිඛෙනවා. රාජ්‍ය ග්‍රහණය කියන්නේ දූෂණයේ ඉහළම ප්‍රතිඵලයයි. රාජ්‍ය ආයතන කවුරුන් හෝ කල්ලියක් අතර ග්‍රහණයට ගැනීම මෙයින් සිදුවෙනවා. පාර්ලිමේන්තුවත් මීට අයත් වෙනවා. කොටස් වෙළෙඳපොළ හෝ වෙනත් සියලූ පද්ධති මේ ග්‍රහණය යටතට ගැනීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. ටියුනීසියාවේ ඛෙන් අලි හොඳම නිදර්ශනයයි.  මහජන උද්ඝෝෂණවලින් ඔහු පලවා හරින විට පවුලේ දේපොළවල වටිනාකම ඩොලර් බිලියන 7-17 අතර බවට ඇස්තමේන්තු කළා. ඔහු මුලින්ම කොටස් වෙළෙඳපොළ පවුලේ ග්‍රහණයට ගත්තා. තම ඥාතීන් හමුදාවට යොදවා ඉහළ තනතුරු ලබාදුන්නා. සියලූම සමාගම්වලට තමන්ගේ ඥාතීන් හෝ හිතවතුන් නිලධාරී මට්ටමින් පත්කළා. රජයට අභියෝග කළ වෘත්තීය සමිති නායකයින් ඝාතනය කළා. පාර්ලිමේන්තුව ඇතුළු සියලූ රාජ්‍ය ආයතන ඔහුගේ හෝ ඔහුගේ භාර්යාවගේ පවුලේ ඥාතීන් හිතවතුන් ඇතුළු විශ්වාසවන්තයින්ගෙන් පුරවා තැබුවා. රාජ්‍ය ග්‍රහණය පිළිබඳව හොඳම නිදර්ශනය ඛෙන් අලි, ලිබියාවේ ගඩාෆි, යේමනයේ අලි අබ්දුල්ලා සාලේ වැනි නායකයන් තවත් නිදර්ශනයි.

දූෂණය සහ දේශපාලන බලය යොදාගෙන තිඛෙන විවිධ ස්ථර සහ වපසරිය කවරාකාරද යන්න මෙයින් පැහැදිලියි. රාජ්‍ය ග්‍රහණයට හසුවූ රටක් නිදහස් කර ගත හැක්කේ බොහෝ විට මහජන නැගිටීම්වලින් බව ඔප්පු වී තිඛෙනවා. ලංකාවේ රාජ්‍ය ග්‍රහණය සිදුවීමට තිඛෙන ඉඩකඩ බැහැර කරන්න බැහැ. මේ විෂය ගැන දැනුවත්වීමෙන් ඊට එරෙහිව අරගලයක් දියත් කර සමාජයේ යහ පැවැත්ම සහ පාලනය ස්ථාපිත කර ගත හැකි බව අවධාරණය කළ යුතුයි.

Facebook
Twitter
LinkedIn