වංචා දූෂණවලට තවත් ඉඩ දුන්නොත් ගෙදර උළුවස්සත් බේරගන්න බැරිවේවි! – වසන්ත සමරසිංහ

දැන් නිහඬව සිටීමේ කාලය අවසන් කළ යුතුයි. අපි ඔබට කියන්නේ මහජනතාව මත බරපටවමින් කරගෙන යන මේ වංචා දූෂණවලට තවදුරටත් ඉඩ නොදී ඉදිරියට එන ලෙසයි. දැන් ඔබේ ගෙදරට තට්ටු කරනවා. ඊළඟට යකඩ ඉන්නක් ගෙනත් උළුවස්ස ගලවාගෙන යා හැකියි යනුවෙන් වසන්ත සමරසිංහ මහතා ඊයේ පැවැති සම්මන්ත්‍රණයකදී කියා සිටියේය. ජනතාව මත පටවන ආණ්ඩුවේ දූෂණ බර යන මැයෙන් දූෂණ විරෝධී හඩ සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණය ඊයේ (15) කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්‍රවාණාගාරයේදී පැවැත්වීය.

එහි වැඩිදුරටත් අදහස් දැක්වු එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා. සමාජය මත දූෂණය නොවූ දේ සේවීම කළ නොහැකිම වටපිටාවකයි අපි ජීවත් වන්නේ. දූෂණ විරෝධී හඩට ලැබී තිඛෙන සහ ලැඛෙමින් තිඛෙන තොරතුරු අතිවිශාලයි. ව්‍යවස්ථාදායකය, විධායකය, නීති පද්ධතිය තම පාලනයට අවශ්‍ය ආකාරයට මෙහෙයවා ගනිමින් ඉතිහාසයේ නොවූ විරූ දූෂණ ප්‍රමාණයක් සිදුකරමින් පතිනවා. දරුවගේ කිරිපිටි පැකට් එකට බදු මිල වැඩි කිරීමෙන් අයකර ගන්නා මුදල් සුදු අලි නඩත්තු කරන්න යෙදවීමත් මේ කාලයේ දකින්න ලැඛෙන ප්‍රධානම දූෂණ මාදිලියක්. වංචාව හොරකම මේ සුදු අලි තුළින් සිදුකෙරෙනවා. මේ තොරතුරු ජනතාවට කියන්න 2011 අවුරුද්දේ “දූෂණ විරෝධී හඬ” ආරම්භ කළා. අපි අනාවරණය කළ තොරතුරු නිසා සාර්ථක ප්‍රතිඵල ලැබුණ අවස්ථා ගණනාවක් තිඛෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වාහන බන්දුල බස්නායක ඇමතිවරයා පෞද්ගලිකව ලබාගෙන තිබුණා. අපේ හෙළිදරව්ව නිසා ඒවා ආපසු ගෙනත් දැම්මා. කරන ලද වංචාවට ද`ඩුවම් නැහැ. මේ වගේ කාර්යයන් අපි ජනතාවට හෙළි කළා.

අපි දූෂණ හෙළි කිරීමෙන් ආණ්ඩුව ඒවා නවත්වන්න උත්සාහ කරන්නේ නැහැ. සුපුරුදු ලෙසම කරගෙන යනවා. එන්.එස්.බී ගණුදෙනුව හොදම උදාහරණයක්. ද ෆිනෑන්ස් සමාගම තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි 3000ක මුදල් ලබාගෙන බංකොළොත් මට්ටමේ පවතින අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඒ සමාගමේ රු.30 කොටසක් රු.50ට ආසන්න මිලකට ලබාගත්තා. මේ තොරතුරු රටට අනාවරණය කිරීම නිසා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කලබල වුණා. එන්.එස්.බී ගණුදෙනුව නවත්වන්න නියෝග දුන්නා. ඒ වනවිටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙනුවෙන් සම්පත් බැංකුව රුපියල් මිලියන 390කට ආසන්න මුදලක් ද ෆිනෑන්ස් සමාගමට ගෙවා තිබුණා. පරීක්ෂණ පවත්වන බව කියා ජනතාවගේ අවධානය අඩු කර ඉතිරිකිරීමේ බැංකුවෙන් මේ මුදල් ගෙවා දැමිය හැකියි.

ඒ වගේම ද ෆිනෑන්ස් – එන්.එස්.බී ගණුදෙනුවට පෙර ලංකා බැංකුව රුපියල් 20 ගානේ ද ෆිනෑන්ස් කොටස් අරගෙන තිබුණා. අද ඒ කොටසක වටිනාකම රු.9.50යි. මහජන බැංකුව ද ෆිනෑන්ස් කොටස් මිලියන 200ක් අරන් තිඛෙනවා. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල කොටස් මිලියන 300ක් අරගෙන තිඛෙනවා. ඊටත් අමතරව මේ බංකොළොත් සමාගමේ තැන්පත්කරුවන්ට තැන්පතු ආපසු ගෙවනවා වෙනුවට සමාගමේ කොටස් ලබාදුන්නා. රුපියල් ලක්ෂයක ඒ කොටස් ගත් අයෙකුට අද තිඛෙන හිමිකම රුපියල් 45,000යි. බලහත්කාරයෙන් මේ කොටස් ලබාදීම කි්‍රයාත්මක කළා.

සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි කෝටි 70ක් කොටස් වෙළඳපොළට යොදා තිඛෙනවා. ඒ කොටස්වල අද වටිනාකම රුපියල් කෝටි 3100කට ආසන්නයි. 2011 ඔක්තෝබර් 10 වෙනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ මගින් සුවිශේෂී ගණුදෙනුවක් සිදු කළා. ලාෆ් ගෑස්  සමාගමේ කොටස් වෙනුවෙන් ඊ.පී.එෆ්. මුදල් රුපියල් මිලියන 1700ක් යෙදවූවා. සමාගමේ මුළු කොටස්වලින් 10%ක් ඊ.පී.එෆ්. මුදල්වලින් අරගත්තා. එදා දවස ඇතුළත ලාෆ් ගෑස් කොටසක මිල තීරණය වුණු ආකාරය අපිට වැදගත්. දවස ආරම්භයේදී රුපියල් 38යි. උදේ 10 වෙනකොට රු.40යි. උදේ 11ට රු.48යි. 11.30 වෙනකොට කොටස් වෙළෙඳපොළට පිටින් ලාෆ් සමාගමේ කොටස්වලින් 10%ක් රුපියල් 48 ගානේ ඊ.පී.එෆ්. මිලියන 700න් අරගත්තා. සවස 2.30 වෙනකොට කොටසක මිල රුපියල් 40 දක්වා පහත වැටුණා. පැය කිහිපයක් ඇතුළත රුපියල් මිලියන 400ක වංචාවක් මේ මගින් සිදුකර තිඛෙනවා. එන්.එස්.බී. ගණුදෙනුව මේ වගේ සූදුවක ගනුදෙනුවක් විතරයි.

මේ ගැන සම්පූර්ණ වගකීම මහ බැංකු අධිපතිවරයාට තිඛෙනවා. ඒ වගේම මහ බැංකු අධිපතිවරයා මෙහෙයවන ආණ්ඩුවටත් තිඛෙනවා. නමුත් මේ දූෂිත ගනුදෙනු සිදුවන අතර මහ බැංකු අධිපතිවරයාගේ පරිභෝජනවාදී ජීවන රටාව අපිට බොහෝ කරුණු හෙළිකරනවා. ඔහුගේ පාවිච්චියට වෙන්කර තිඛෙන සුඛෝපභෝගී මොටර් රථවල වටිනාකම රුපියල් ලක්ෂ 800යි. ඒ වගේම නාන කාමරයට රූපවාහිනියක් පවා සවිකර තිඛෙන බව වාර්තා වෙනවා. නිල නිවස අලූත්වැඩියා කිරීමටත් විශාල මුදලක් වැය කර තිඛෙනවා. ආරක්ෂකයන්ටත් සුභෝපභෝගී වාහන වෙන්කර තිඛෙනවා. මෙන්න මේ වගේ පසුබිමක ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මහා භාරකාර දෙපාර්තමේන්තුව තවත් මූල්‍ය දූෂණ තෝතැන්නක්. ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිරි වෙහෙරේ පවත්වන ලද දානයට රුපියල් 8,44,000ක් වැය කර තිඛෙනවා. අගමැතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ කඨින පිංකමක සිවුරු පූජාවට රුපියල් 50,69,520ක් ලබාදීලා. ගම්පහ දිස්ති්‍රක්කයේ බුදු පුත් මාපිය උපහාර උත්සවයේ ආහාර පාන වලට රුපියල් 10,31,000ක් වියදම් කර තිඛෙනවා. 2011 වුරුද්දේ අගමැති කාර්යාලයේ දින පොත් මුද්‍රණයට රුපියල් 8,65,200යි. අයවැය මගින් අගමැතිවරයාගේ ශීර්ෂය යටතේ මේවාට ප්‍රතිපාදන වෙන්කර තියෙන අතර මහා භාරකාර දෙපාර්තමේන්තුවේ අරමුදල් මේ විදියට ලබාගෙන තිබීම විශේෂයි. ඒ වගේම නීතිඥ ගාස්තු වශයෙන් මහාභාරකාර දෙපාර්තමේන්තුව දරන වියදම් රුපියල් ලක්ෂ 51 ක් බව සඳහන් වෙනවා. නඩු 35ක් වෙනුවෙන් අවුරුද්දකට මේ වියදම් දරා තිඛෙනවා. යූ.ඩී. බර්ට්‍රම් සිල්වා භාරයට අදාල නඩුවක් බණ්ඩාරවෙල දිසා අධිකරණයේ විභාගවෙමින් පවතිනවා. ජූලි මාසයේදී ඒ වෙනුවෙන් නීතිඥ ගාස්තුව රු.1,22,000යි. අගෝස්තු මාසේ 17 ඒ වෙනුවෙන්ම රුපියල් 93,000යි. මේ අතර දිනයක් සඳහන් නොවන රු.84,000ක නීතිඥ ගාස්තු දරා තිඛෙනවා. ඒ වගේම මහා භාරකාර අරමුදල සතු දේපළ විකිණීමේ ඔප්පු ගාස්තු රු.2,20,000ක් දරා තිඛෙනවා. සාමාන්‍යයෙන් ඔප්පු සැකසීමේ ගාස්තු ගෙවන්නේ දේපොළ මිලදී ගන්නා පුද්ගලයා. නමුත් මහාභාරකාර අරමුදල එහි සභාපති ගාමිණී සෙනරත් මහතාගේ ඥාති සංග්‍රහවලට යටත් කර විශාල වශයෙන් මුදල් පරිහරණය කර තිඛෙනවා.

ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා ආණ්ඩුව තුළ හදුන්වන්නේ දූෂණ අක්‍රමිකතාවලින් තොර සුදු චරිතයක් ඇති ඇමතිවරයෙක් හැටියටයි. ඒ ඇමතිවරයාගේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් 29,40,000ක් වටිනා වාහනයක් ආනයනය කර රේගු බදු ගෙවා එය ලබාගැනීමටත් පෙර අලූත්වැඩියා ගාස්තු වශයෙන් රු.2,50,000ක් වැය කර තිඛෙනවා. ඒ වගේම ජූනි මාසයේ අනතුරට පත්වීමෙන් වාහනයේ අලූත්වැඩියා කටයුතුවලෙ රුපියල් ලක්ෂ 08ක් අරන් තියෙනවා. ඒ වාහන සම්බන්ධයෙන් පිටු 43ක තොරතුරු අපි ළඟ තිඛෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ජාතික ආධුනිකත්ව මණ්ඩල ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට ලබාදුන් ණය මුදලින් ගොඩනැගිල්ල හදල තියෙන්නේ බද්දේගම සමිත හිමියන්ගේ පන්සලේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 180ක් වියදම් කර තිඛෙනවා. නමුත් මේ රජයේ දෙපාර්තමේන්තුවට අයිති ඉඩමක් නොවේ. ගොඩනැගිල්ලේ අයිතිය දැන් තිඛෙන්නේ කාටද? පන්සලත් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ණය ගෙවන්නේ මේ රටේ ජනතාව. ඒ වගේම ඇමතිවරයා ඒකාංගික ටෙලිනාට්‍යක් වෙනුවෙන් රු. 8,64,121ක් වියදම් කර තිඛෙනවා. තවම ඒ නාට්‍යය පෙන්වලා නැහැ. නමුත් ගෙවීම් කර ඉවරයි.

මිහින් ලංකා, දැයට කිරුළ වගේ නාස්තිකාර වියදම් දරන්නේත් ඇමතිවරුන් මේ විදිහේ විශාල නාස්තිකාර වියදම් දරන්නේත් මේ රටේ කිරිදෙන මව්වරුන්ගෙන් 32%ක් රක්තහීනතාවයෙන් පෙළෙන අතරතුරයි. ළදරුවන්ගෙන් 29%ක් මන්දපොෂණයෙන් පෙළෙද්දී මේ අම්මලා සහ දරුවන් වෙනුවෙන් ත්‍රිපෝෂ ටික දෙන්න කිරිපිටි ටික ලබාදෙන්න සහනාධාර විදියට මේ සල්ලි වියදම් කරන්නේ නැහැ. ඒ වගේම ඇමතිවරු 53කට අලූත් වාහන ගන්න රුපියල් කෝටි 37ක් වැයවන පරිපූරක ඇස්තමේන්තු වියදම් කර තිඛෙනවා.

පසුගිය වසරේ පැවැත්වූ අයිෆා සිනමා උලෙළ තුළින් සංචාරක ප්‍රවර්ධනය අපේක්ෂා කළ හෝටල් හිමියන් තමන්ගේ කාමර නොමිලේ ලබාදුන්නා. නමුත් හෝටල් කාමර කුලිය රුපියල් මිලියන 54ක් ගෙවා තිඛෙනවා. එයාර් ලංකා සමාගම නොමිලේ ප්‍රවාහන කටයුතු කර දීමට ඉදිරිපත්ව සිටියදී රුපියල් මිලියන 58ක් වැය කර දවස් 04කට ගුවන් යානා කුලියට ගත්තා. ඒ වගේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් නෙළුම් කුළුණ ඉදිකරන්න කඩිමුඩියේ කටයුතු කරනවා. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ලක් මේ වෙනුවෙන් මහ දවල් ඩෝසර් කරා. මීට වසර 6-7කට ඉස්සර අයවැයෙන් සල්ලි වෙන්කරලයි මේ ගොඩනැගිල්ල හැදුවේ. දැන් කඩිමුඩියේ ගලවා ඉවත් කනවා. රාජ්‍ය නිලධාරීන් මේකට විරුද්ධයි. සුදු වෑන් නිසා ඒ විරෝධය එළිපිට දක්වන්නේ නැහැ. ෂැන්ග්‍රිලා සමාගමට ලබාදුන්න යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩමට ආසන්නයේ අක්කර 4.5ක ඉඩමක් ඩොලර් මිලියන 75කට ඉන්දියන් ටෙබැකෝ සමාගමට විකුණුවා. ජයවර්ධනපුර රෝහලේ වංචා දූෂණ, ටෙලිකොම් සමාගමේ වංචා දුෂණ, ටෙලිකොම් සමාගමේ වංචා දූෂණ, දුම්රිය දෙපාර්තමේන්තුවේ වංචා දුෂණ වශයෙන් තොරතුරු රාශියක් අපිට ලැබී තිඛෙනවා. මේ සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට මොහොතකට පෙර කණගාටුදායක තොරතුරක් තැබුණා. රත්මලාන අඳගොළු බිහිරි පාසල එතනින් ඉවත් කර ගුවන් හමුදා හෝටලයක් ඉදිකරන්න ලෑස්ති වෙනවා කියලා. මේ පාසල තිඛෙන අක්කර 03ක ඉඩම ඒ වෙනුවෙන්ම පරිත්‍යාග කර තිඛෙන එකක්. මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ සමාජ සුභසාධනයට තිඛෙන හැමදේම විනාශ කරමින් වංචා දූෂණවලට ඉඩ සලසා ගන්නා බවයි.

අපි මේ තොරතුරු ජනතා අධිකරණය ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අල්ලස් හෝ දූෂණ කොමිසම, අධිකරණය වගේ තැන්වලටත් ගෙනියනවා. දූෂණ විරෝධී හඩ මහජනතාව තුළින්ම මතුවී ජයග්‍රහණය කළ යුතුයි. අපි ඒ සඳහා නායකත්වය දීමට සංවිධානාත්මකව ඉදිරිපත් වී තිඛෙන ආයතනයක්. නිහඬව සිටීමේ කාලය දැන් අවසන් කළ යුතුයි. අපි ඔබට කියන්නේ මහජනතාව මත බරපටවමින් කරගෙන යන මේ වංචා දූෂණවලට තවදුරටත් ඉඩ නොදී ඉදිරියට එන ලෙසයි. දැන් ඔබේ ගෙදරට තට්ටු කරනවා. ඊළඟට යකඩ ඉන්නක් ගෙනත් උළුවස්ස ගලවාගෙන යා හැකියි.

Facebook
Twitter
LinkedIn