විලච්චියට එස්ටීඑෆ් යැව්වේ මමයි – පොලිස්පති

පොලිස්‌ විශේෂ කාර්ය බළකාය පසුගියදා (2 වැනිදා) විලච්චිය සිවලාපිටිය ප්‍රදේශයට පැමිණියේ නිධන් සොරකමක්‌ සඳහා නොව සොරුන් කණ්‌ඩායමක්‌ විසින් සොරකම් කරගෙන යැමට සැලසුම් කර තිබූ ඉතා වටිනා වස්‌තුවක්‌ නිත්‍යානුකූලව පොලිස්‌ භාරයට ගැනීමට බවත් පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ප්‍රකාශ කරයි.


පොලිස්‌පතිවරයා ඒ බව සඳහන් කළේ එම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමිනි.

පොලිස්‌ මූලස්‌ථානය හරහා පසුගිය 01 වැනිදා ලැබුණු තොරතුරකට අනුව එම ප්‍රදේශයේ වැවක්‌ පිළිසකර කරමින් සිටි බැකෝ රියෑදුරකුට මිල කළ නොහැකි යම් වස්‌තුවක්‌ ලැබී ඇති බවත් එම වස්‌තුව අසල ප්‍රදේශයක සඟවා ඇති බවත් හෙළිවුණා. එය සොරු කල්ලියක්‌ විසින් ගැනීමට සූදානම් බව ද දැනගන්නට ලැබිණ. වහා ක්‍රියාත්මක නොවුණහොත් සොරුන් විසින් එය රැගෙන යැමට ඉඩ ඇති බැවින් එකී වස්‌තුව නොපමාව ආරක්‌ෂක අංශ භාරයට ගන්නා ලෙසත් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී වෙත ඒ පිළිබඳ දැනුම් දෙන ලදී. පසුව නිලධාරීන් කණ්‌ඩායමක්‌ යොදවා සඟවා ඇති වස්‌තුව නඩු භාණ්‌ඩයක්‌ වශයෙන් භාරයට ගන්නා ලෙස තමන් උපදෙස්‌ දුන් බව පොලිස්‌පතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

පසුගිය දෙවැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පැහැදිලි කිරීමක් කර තිබෙන්නේ දින 06කට පමණ පසුවය. මේ අතර ධීවර උද්ඝෝෂණය සිදුවන අවස්ථාවේ දී ධීවරයෙකුට වෙඩි තබා මරාදැමූ එස්.ටී.එෆ් නිලධාරීන් විලච්චිය සිද්ධියේදී ජනතාවගේ විරෝධය හමුවේ පලාගියේ කුමකටදැයි දේශපාලන විචාරයකයින් ප්‍රශ්න කර සිටී.

කෙසේ වෙතත් දින 06කට පසු පොලිස්පතිවරයාට මෙම සිද්ධියේ වගකීම භාරගැනීමට සිදුවී තිබීමෙන් පැහැදිලි වන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව මුහුණ දී සිටින අසරණභාව බවද විචාරකයෝ පවසයි.

Facebook
Twitter
LinkedIn