
2012 ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු අදියර අද (08) තායිලන්තයේ බැංකොක් අගනුවරට නුදුරින් පිහිටි තමාසාට් විශ්වවිද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ.
ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව මෙහෙයවනු ලබන ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාව අදියර 3 කින් සමන්විත වන අතර, එහි දෙවන අදියර මෙම 11 දා කාංචනබුරි නගරයේදීද, තෙවැනි සහ අවසන් අදියර මෙම 14 දා චොන්බුරි නගරයේදීද පැවැත්වීමට නියමිතය.
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තව දින 80 ක් ඉදිරියට තිබියදී ආසියානු කළාපයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන බැලෙන ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාව, ලන්ඩන් ඔලිම්පික් වරම් ලැබීමේ අවසන් අවස්ථාව ලෙසද හැඳින්විය හැක.
ලබන ජූලි 15 දා වන විට ඔලිම්පික් යෝජිත පරිසාධන මට්ටමේ කඩඉම අවසන් කෙරෙන හෙයින් ශ්‍රී ලංකාව ඇතුලු ආසියානු කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බහුතරයකට අද ඇරඹෙන ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාව තීරණාත්මක සාධකයක් වන බව මලල ක්‍රීඩා විචාරකයෝ පවසති.
2011 වසරේ මලල ක්‍රීඩාවෙන් දැක්වූ ඉහළම දක්ෂතාවන් පදනම් කොට ගෙන ෂෙහාන් අඹේපිටිය (මීටර 100), ප්‍රසන්න අමරසේකර (මීටර 400), මංජුල කුමාර විඡේසේකර (උස පැනීම) සහ වරුණ ලක්ෂාන් දයාරත්න(හෙල්ල) යන ක්රීඩකයෝද, චන්ද්‍රිකා සුභාෂිණී(මීටර 400) සහ ක්‍රිස්ටීන් සොනාලි මෙරිල්(මීටර 400 කඩුලු) යන ක්රීඩිකාවෝද මෙවර ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසු බවට ආසියානු මලල ක්‍රීඩා සංගමය නිර්දේශ කොට සිටිති.
2012 ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාව සඳහා කලාපයේ සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 කට ආසන්න සංඛ්‍යාවක් තරග වැදීමට නියමිතව ඇති අතර තරගාවලියේ සෑම තරග ඉසව්වකම ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය සඳහා ඇමරිකානු මුදලින් ත්‍යාග පිරිනැමීමටද නියමිතය.











